roadBlockMobile
brand logo
logo

ඉන්දියාවෙන් ජුහි චවුලා ලංකාවෙන් මිෂෙල් දිල්හාරා

25 August 2020

පුංචි තිරයට මුවා වූ සුන්දර හිතැත්තියක් වන ඇය කිහිප අවස්ථාවකදීම ලෝකය ඉදිරියේ අප රටේ නම සනිටුහන් කර ඇත්තීය. ඒ ඇගේ සමාජ සේවය හා පරිසරය හිතකාමීත්වය වෙනුවෙනි. ඇගේ පරිසරයට ඇති ආදරයට වටිනාකමක් එක් කරමින් මෑතකදී තානාපති ධුරයක හිමිකාරිණියක් වීමට ද අවස්ථාව ලැබුණා. ඇය නමින් මිෂෙල් දිල්හාරා. ඇයට ලැබුණු අලුත් තනතුර ගැන වගේම ඇගේ කලා කටයුතු ගැනත් අපි ඇගෙන් විමසුවා. පසුගිය දිනක ඔබට විශේෂ තනතුරක් ලැබුණා ? ඔව්. මාව ශ්‍රී ලංකාවේ Earth Day Network තානාපති ලෙස පත්කළා. 1970 දී පළමු ලෝක මිහිකත දිනය සමරා තිබෙනවා. 2020 ට තමයි Earth Day Network ආයතනයේ 50 වන සංවත්සරය යෙදී තිබෙන්නේ. එයට සමගාමීව තමයි මට මේ තනතුර ලැබුණේ. ඉන්දියාවේ තානාපති තනතුර ලැබුණේ ඉන්දියානු නිළි ජුහි චව්ලාට. මොකක්ද Earth Day Network ආයතනයේ තියෙන වැදගත්කම? Earth Day Network ජාලය දැනට ලෝකයේ තිබෙන ලොකුම පාරිසරික සංවිධානය. ඒකට රටවල් 193 ක ක්‍රියාකාරී සංවිධාන 75,000 ක් ඇතුළත් වෙනවා. අප්‍රේල් 22 වන දින සමරනු ලැබන ලෝක මිහිකත දිනය නිල වශයෙන් ලොව පුරා සමරන්නේ Earth Day Network ජාලයයි. Earth Day Network ආයතනයේ ගෝලීය උපදේශක කමිටුවේ සාමාජිකයින් අතර ඇමරිකානු නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ, එඩ් බෙග්ලි ජූනියර්, ඇමරිකානු 45 වන උප ජනාධිපති ඇල් ගෝර්, 68 වන ඇමරිකානු හියපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, අනිල් කපූර් සහ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ආනන්ද් මහින්ද්‍රා යන අය ඉන්නවා. කොහොමද ඔබට මේ අවස්ථාව ලැබුණේ ? මගේ පළමු පොත, Social Invisibility is not a Fiction it Exists, ජාත්‍යන්තරව එළිදැක්වූ පසු එම පොත ගැන ජාත්‍යන්තර මාධ්‍යවල සහ පුවත්පත්වල පළ වුණා. ඉන් පසු Earth Day Network ජාලය විසින් සංවිධානය කරනු ලැබූ My Future My Voice වැඩසටහනට සහභාගිවීමට මට ආරාධනාවක් ලැබුණා. පරිසරයට ඔබ කළ සේවාවන් මතක් කළොත් ? පරිසරයට අපි කරන සේවයකට වඩා මම කැමැතියි ඒක යුතුකමක් කියලා හඳුන්වන්න. මුලින්ම 2016 දී මම දේශගුණික විපර්යාස ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම ආරම්භ කළා. පරිසර හානිය අවම කිරීම සඳහා මම ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කළා. මීගමුව වෙරළ පරිශ්‍රයේ දී දින තුනක් පුරා වෙරළ තීරයේ තිබූ සියලුම ප්ලාස්ටික් ඉවත් කළා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් දැනට පවතින දේශගුණික අර්බුදය අවම කිරීම සඳහා විසඳුමක් ලෙස මම කටාන, දිවුලපිටිය සහ සීදූව යන ප්‍රදේශවල ගස් 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් සංවිධානය කළා. රජරට විශ්වවිද්‍යාලයේ සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ අඛණ්ඩ දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කළා. මෑතකදී මම සබරගමුව විශ්ව විද්‍යාලය සමග දේශගුණික විපර්යාස සහ පෞරුෂ සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූවා. කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිසු සිසුවියන් සහ ගණකාධිකරණ හා මුදල් දෙපාර්ත මේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රසික දේවුන්දර මහතා විසින් තමයි එය සංවිධානය කර තිබුණේ. දේශගුණික විපර්යාස සහ සමාජ අදෘශ්‍යමානභාවය පිළිබඳ රජරට විශ්ව විද්‍යාලය සමග ද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූවා. විද්‍යා පීඨයේ සිසුන් සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නජිත් ගුරුගේ මහතා විසින් ඒ වැඩසටහන සංවිධානය කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රවීණ මහාචාර්ය ඇන්ටනෙට් පෙරේරා සහ උපදේශක වෛද්‍ය පරක්‍රම වර්නසූරිය සමග මම තරුණ තරුණියන් සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් පවත්වා තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුවේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨය විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායකත්ව සංසදයේ දේශනය සඳහාත් ජයත්‍රි සිල්වා මහත්මිය ආරාධනා කළා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය "ගසක් සිටුවීමේ වටිනාකම" යන සංකල්පය ක්‍රියාවට නැංවීමේ වැඩසටහනට දේශගුණික ක්‍රියාකාරිකයෙකු සහ දායකයෙකු ලෙස එම අවස්ථාවට සහභාගී වීමට සිසිර කුමාර මහතා මට ආරාධනා කළා. ඒ වගේම දනුෂ්කා ක්ලාක් සහ මනුෂා නවරත්න සමග දින 3 ක දේශගුණික විපර්යාස අධ්‍යයන කඳවුරක් සංවිධානය කළා. ඔබේ කලා කටයුතුවල අලුත්ම තත්ත්වය ගැන මතක් කළොත් දැනට විකාශනය වෙන තිළිණ බොරළැස්ස අධ්‍යක්ෂණය කරන සිහින සමාගම ටෙලිනාට්‍යයේ දිනිති කියන චරිතය නිරූපණය කරනවා. ක්‍රිස්ටි ශෙල්ටන් අධ්‍යක්ෂණය කරන සකුන පියාපත් ටෙලිනාට්‍යයේ හර්ෂණීගේ චරිතය, නිමල් රත්නායකගේ කිසා ටෙලිනාට්‍යයේ කිසාගේ චරිතය, නාව්‍යා කියන චරිතයෙන් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ තිරය ඇරපන් ටෙලිනාට්‍යයෙත්,ඔහුම අධ්‍යක්ෂණය කළ Kiss season 2 හි ආර්නා චරිතයෙන් හා දනුෂ්ක රේමන්ඩ් අධ්‍යක්ෂණය කළ Race ටෙලිනාට්‍යයේ දේවානිගේ චරිතයත් ඉදිරියේ දී විකාශනය වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව අලුත්ම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා.සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කරන, චින්තක කුලතුංග මහතා නිශ්පාදනය කරන " Can යූ Hear මී " ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල ජූලි 31 පැවැත්වුණා.   සෝබා කෝලියවංශ ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..