roadBlockMobile
brand logo
logo

ධම්මික වෙද මහතා දොළුකන්දේ හාමුදුරුවන්ගේ මල්ලීද?

12 December 2020

අට අනූවක් රෝග සුව කිරීමට පිරිත් පැන් බලයෙන් තමාට හැකි බව කියමින් වැව් පිටින් පිරිත් පැන කළ දොළුකන්දේ හාමුදුරුවෝ තිරයෙන් මැකී ගොස් බොහෝ කලකට පසුව දැන් තවත් ‘‘විශ්වකර්ම වෛද්‍යවරයෙක්’’ මේ බිමේ පහළ වී ඇත්තේය. එතුමානෝ අට අනූවක් රෝග සුව කරන බව නම් කියන්නේ නැත. කියන්නේ මුළු ලොවම වෙළාගෙන සිටින කොරෝනා රෝගය ධූරින් බූත කරන මාහැඟි ඖෂධයක් තමා සොයාගෙන ඇති බවය. ඒ කතාව ඇසුණු අපට සිතුණේ මේ පහළ වී සිටින්නේ දොළුකන්දේ හාමුදුරුවන්ගේ මල්ලීද කියාය. මේ බෙහෙත සොයාගෙන තිබෙන බව කියන්නේ කෑගල්ලේ හෙට්ටිමුල්ලේ ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලයේ අධිපති ගුප්ත විද්‍යා චක්‍රවර්තී දේවාශිර්වාද ශාන්තිකර්ම ප්‍රවීණතා ගෞරව සම්මාන උපාධිධාරී ධම්මික කුමාර කපු මහත්තයාය. ඔහු කියන හැටියට ඔහුගේ පැණිය බිව් කෙනෙකුට කොරෝනා සදාකාලිකව වැලඳෙන්නේ නැත. රෝගය වැලඳුනු රෝගියෙක් පැණිය බීවේ නම් දින තුනෙන් ලෙඩේ කම්මුතු වන බව ඔහු කීවේය. මේ කපු මහත්තයා ගැන ගිය සතියේ අප හෙළි කළ කාරණා ගැන සමහරු කීවේ පුද්ගලයා ගැන නොව ඔහු සොයා ගත් ඖෂධය ගැන සොයන ලෙසය. එසේ යෝජනා කළ අය තර්ක කරන්නේ ඉකුත් අඟහරුවාදාවේ (08 වැනිදා) ධම්මික කපු මහත්තයාගේ කොරෝනා පැණිය ගන්නට පොර කෑ දහස් සංඛ්‍යාත ජන ගඟ දැකය. එහෙත් අප අමතක නොකළ යුතු කාරණාව වන්නේ දොළුකන්දේ හාමුදුරුවන්ගෙන් බෙහෙත් ගන්නට දහස් ගණනක් නොව ලක්ෂ ගණනක් ආ බවය. එහෙත් උන්වහන්සේගෙ පිරිත් පැන් බී කිසිවෙක් සුව වූවේ නැත. යටත් පිරිසෙන් උන්වහන්සේට තිබූ අක්ෂි ආබාධයත් සුව වූවේ නැත. ඒ ගැන උන්වහන්සේ කීවේ පෙර කරුමය නිසා අක්ෂි ආබාධය සුව නොවන බවය. කරුමයෙන් රෝග වැලඳෙන බවක් වෛද්‍ය විද්‍යාවේ නැත. කෙසේ නමුත් ප්‍රතිකාර ගන්නට එන සෙනඟෙන් ඖෂධය හරි ගිය බවට නිගමනය කරන ක්‍රමවේදයක් බටහිර හෝ දේශීය වෙදකමේ නැති බව නම් සහතිකය. එබැවින් ධම්මික කුමාර කපු මහත්තයාගේ පැණියෙන් කොරෝනා රෝගය නිට්ටාවටම සුව කරන බව ඔප්පු විය යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් බව අපේ කල්පනාවය. ධම්මික කපු මහත්තයාගේ මේ පැණිය පරික්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුවේ සාමාජිකයොත් නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත අපට අදහස් දැක්වූවේය. සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටුව මෙතෙක් රැස් වී නැහැ. කමිටුවට සායනික පරීක්ෂණ වාර්තාවක් අවශ්‍යයි. විද්වත් කමිටුවේ නිර්දේශය ලබාදීමට පෙර පැණිය කොවිඩ් මර්දනයට සුදුසු බව මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබෙනවා. පැණිය ජනතාවට හොඳ බව ප්‍රකාශ කළේ මාධ්‍යයයි. වෛද්‍යවරුන් නොවෙයි. දැන් අපි රැස් වෙලා තීන්දු තීරණ අරගෙන වැඩක් නැහැ. ඖෂධ ජනතාවට සුදුසුද නැද්ද යන්න මාධ්‍යයට තීන්දු කරන්න බැහැ. මී පැණි උණු කර පානය කිරීමෙන් මොකද වෙන්නේ? සාදික්කා ආයුර්වේදයේ ඖෂධයක් වුවත් ශරීර ගතවිය යුතු මාත්‍රාවක් තියෙනවා. පමණට වඩා භාවිතා කිරීමෙන් අසාත්මිකතා ඇති විය හැකියි. පැණිය කොහොම හදනවාද කියා කවුරුත් දන්නේ නැහැ. පැණිය ලබා දුන් රෝගීන් සුව වූ බව කොහොමද කියන්නේ. සායනික පරීක්ෂණවලින් තහවුරු වන තුරු මෙම පැණිය පානය කිරීම සුදුසු නැහැ. ඔහු කීවේය. මේ පැණිය දෙතුන් සතියට ඉහතදී කරළියට එන්නේ වතුපිටිවල රෝහලෙනි. එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගීන්ට කපු මහත්තයාගේ පැණිය දුන් බව ඔහු මෙන්ම වෛද්‍යවරු දෙතුන් දෙනෙක් කියති. පසුව බලන විට එම රෝගීන්ගේ කොරෝනා රෝගී තත්ත්වය සෘණාත්මක වූ බව එම වෛද්‍යවරු පවසති. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ වතුපිටිවල රෝහලේ එවැනි පර්‌යේෂණයක් කළ බව තමන් නොදන්නා බවය. දැන ගන්නට ඇති පරිදි වතුපිටිවල රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරු පවා එවැනි දෙයක් දන්නේ නැත. මෙතෙක් ලංකාවේ කොරෝනා රෝගීන්ට විශේෂඥ ප්‍රතිකාර කරනු ලැබුවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුය. එහෙත් තවමත් කිසිදු කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මේ පැණියෙන් කොරෝනා සුව වෙන බව කියන්නේ නැත. ඒ ගැන කතා කරන වෛද්‍යවරු දෙතුන් දෙනා කායික රෝග හෝ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු නොවෙති. එක් වෛද්‍යවරියක් සෞඛ්‍ය පරිපාලකවරියකි. කෙසේ නමුදු බටහිර රෝහලක ප්‍රතිකාර ලබන රෝගියකුට දෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිර්දේශ කළ ඖෂධ පමණි. ඉන් පරිබාහිරව ඖෂධ  දෙන වෛද්‍යවරුන්ට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පියවර ගැනීමට හැකියාව ඇත. වතුපිටිවල රෝහලේ කොරෝනා රෝගීන්ට අනුමැතිය නොලද ඖෂධයන් දීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණ ඇරැඹුණත් එය යට ගියේය. ධම්මික කපු මහත්තයාගේ පැණිය ගැන රටේ කතාබහක් ඇතිවෙද්දී  ඒ පැණිය හදන හැටි පරික්ෂා කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව ඔහුගේ ගෙදරට ගියේය. එහි දී හෙළි වූයේ ඔහු මෙය හදන්නේ සාදික්කා හා මී පැණි මිශ්‍ර කර බවය. ඊට යොදන අනෙක් කුළුබඩු ගැන ඔහු හෙළි කරන්නේ නැත. කපු මහත්තයා කියන හැටියට ඔහුගේ මේ පැණිය පැවත එන්නේ රාවනා යුගයේ සිටය. පුරාණ මහ රහතන් වහන්සේ පවා මේ පැණිය වළදා ඇති බව ඔහු කියන්නේය. අප දන්නා පරිදි රහතන් වහන්සේ ලංකාවේ වැඩ සිටිබව කියන යුගයේ සාදික්කා යනුවෙන් කුළුබඩුවක් ලංකාවේ කිසිම තැනක තිබුණේ නැත. ලංකාවේ අවසානයට වැඩ සිටි මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන්නේ කුරුණෑගල රාජධානියේ වැඩ සිටි මලියදේව මහ රහතන් වහන්සේය. එහෙත් මේ  සාදික්කා ලංකාවේ වගා කෙරෙන්නේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සමයේ දී බව පේරාදෙණිය උද්භිත උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දර අප කළ විමසුමකදී කීවේය. ඉන්දුනීසියාවේ උපත ලද සාදික්කා වෙළෙඳපොළ අල්ලා ගැනීමට පෘතුග්‍රීසින් හා ලන්දේසින් යුද වැදි අවස්ථාද තිබේ. දැනට ඇති සාක්ෂි අනුව සාදික්කා වානිජ වගාවක් ලෙස ලංකාවේ අරඹන්නේ ඉංග්‍රීසින්ය. ඒ 19 වැනි සියවසේ මුල් කාලයේය. කෙසේ නමුදු ධම්මික කපු මහත්තයා කියන ආකාරයට මහරහතුන් මේ පැණිය පානය කලා නම් එය හදා ගන්නට සාදික්කා සොයා ගත්තේ කොහෙන් දැයි උත්තර දිය යුතුය. මේ කතාව අමතක කර ධම්මික කපු මහත්තයා කියන ලෙස මහ රහතන් වහන්සේ මේ පැණිත් වැළඳූ බවට විශ්වාස කරන්නට මූලාශ්‍රයක් තිබිය යුතුය. එක්කෝ එය බෞද්ධ හෝ ඉතිහාස කෘතියක සඳහන් විය යුතුය. නැති නම් ගලක කොටා තිබිය යුතුය. මේ කතාත් අමතක කර අපි ධම්මික කපු මහත්තයාගේ පැණියෙන් කොරෝනා රෝගීන් සුවපත් වන්නේ නම් එය මෙතෙක් ඔප්පු කරන්නේ නැතිදැයි ඔහුගෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ඇසිය යුතුය. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී මෙහි සායනික පරීක්ෂණය කරන බව කර්මාන්ත ඇමැති විමල් වීවරංශ ගිය සතියේ කීවේය. නමුත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ වන තුරු ධම්මික පැණිය විශ්වවිද්‍යාලයට යොමු කර නොමැත. සායනික පර්‌යේෂණයට අවශ්‍ය මූලික ක්‍රමවේද පමණක් මේ වන විට ආරම්භ කර ඇති බව එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටිය අප කළ විමසුමකදී කීවේය. දේශීය වෛද්‍ය විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව එකට එකතුව මෙම සායනික පරීක්ෂණය සිදු කරන බැවින් නිවැරැදිව සිදු කර රටට නිවැරදි මතය කඩිනමින් ඉදිරිපත් කරන බව මහාචාර්යවරයා කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී තීරණය වූයේ ‘මෙත්සෙවණ’ කොවිඩ් මධ්‍යස්ථානයේ සිටින ආරක්ෂක අංශ සාමාජිකයින්ටද ධම්මික පැණිය ලබා දීමටය. කෙසේ වෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව හා කොවිඩ් මර්දන ආයුර්වේද ජාතික කමිටුව මෙම පැණිය ආයුර්වේද ආහාරයක් ලෙස පානය කිරීම සුදුසු බව නිර්දේශ කර තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය, කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැතිනි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ ද මෙම පැණිය පිළිබඳව අදහස් පළ කළාය. ‘‘පෝලිමේ ගිහිල්ලා මෙම පැණිය ගන්න එපා. විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. සායනික පරීක්ෂණ කරනවා. පොර කකා ගන්න එපා. මෙම පැණිය කොරෝනා මර්දනයට සුදුසු බව සායනික පරීක්ෂණයකින් තහවුරු කළ යුතුයි. විශේෂඥ වෛද්‍යවරියක් වන කොවිඩ් රාජ්‍ය ඇමැතිතුමිය දුන් උපදෙස් කඩකළ පිරිස් අතරේ රටේ තුන්වැනි පුරවැසියාද සිටින්නේය. ධම්මික කපු මහත්තයා පාර්ලිමේන්තුවට පැමිණ කථානායකට පැණිය පෙව්වේය. ඊට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක්ද එල්ල වී තිබුණි. ‘සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවට අනුව සායනික පරීක්ෂණ සතුන් යොදාගෙන සිදු කරන බවත් පසුව මනුෂ්‍ය වර්ගයාට ලබා දෙන බවත් එම විවේචනවල දක්නට ලැබුණි. ඇත්තටම ඔය පැණියෙන් කොරෝනා සුව වෙනවාදැයි ඔප්පු කිරීමට ධම්මික වෙද මහත්තයාට සන්දර්ශන පවත්වනවාට වඩා කළ හැකි දෙයක් ඇත්තේය. ඔහු කියන විදිහට පැණිය බී ඇති ඔහුට කොරෝනා බෝවෙන්නේ නැත. ඉතිං දැන් කළ යුතුව වන්නේ ඔහු කොරෝනා රෝගීන් ළඟට යවා  නියමිත දින කිහිපය පසු වූ විට ඔහුගේ පීසීආර් පරීක්ෂණයක් කිරීමය. කොරෝනාවෙන්  බේරෙන්නට  මුහුණට මුව ආවරණයක් දමා ගෙන සිටින ධම්මික කපු මහත්තයා ඒ යෝජනාවට කැමැතිද? සූරපප්පා කාටුනයේ වෙද පප්පාගේ මැජික් අරිෂ්ටය මෙන් තමගේ පැණියට විශ්ව කර්ම බලයක් ඇති බව කියන ධම්මික කපු මහත්තයා මතු වීමත් සමග දැන් දෙතුන් පොළකින් තමන් කොරෝනා සුවකරන බව කියමින් දෙතුන් දෙනකු මතු වී තිබේ. රාවණා පරපුරේ රන් සන්නසකින් තවත් කොවඩ් පැණියක් එළි දක්වා තිබේ. එම රන් සන්නස වසර 9500ක් පැරැණි බව කියැවෙයි. එම ඖෂධය නිර්මාණය කළ රිටිගල දේවේන්ද්‍ර දේවයන් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මෙම පැණිය ප්‍රභූවරුන් භාවිතා කරන බවයි. මෙම දේවයන් වහන්සේද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයට පැමිණි බවද වාර්තා වෙයි. කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාරම්පරික වෙද මහතෙක්ද තමා පැය තුනකින් කොරෝනා වයිරසය නිට්ටාවටම සුව කරන බෙහෙතක් සොයා ගෙන ඇතැයි පුරසාරම් කතා කියයි. මෙවැනි වෙදුන් දැන් හතු පිපෙන්නා මෙන් බිහි වෙති.ඉඳින් රාවණා රජුගේ ගෝලයොත් මේසන් බාස්ලා, ඩොල්කිකාරයෝ කොරෝනාවට බෙහෙත් සොයා ගන්නා යුගයක මේ තරම් මුදලක් විය පැහැදම් කර ආණ්ඩුව වෛද්‍ය පීඨ පර්‌යේෂණාගාර නඩත්තු කරන්නේ කුමටද?

ඉන්දියාවෙත් ‘‘ධම්මික වෙද මහත්තයෙක්’’ කරළියට එයි.....

ඉන්දියාවේ පතංජලී ඖෂධ පිළිබඳ කතාන්දරයද ධම්මික වෙද මහතාගේ කතාවට සමානය. එය හඳුන්වනු ලැබූයේ ස්වාසරි කොරොනිල් කිට් යනුවෙනි. මෙය නිපදවූ යෝග ගුරු රාම්දේව් මාධ්‍යයට පවසා ඇත්තේ එය කොරෝනා වයිරසයට එරෙහිව සියයට සියයක් නියත සාර්ථකත්වයක් ඔප්පු කළ ඖෂධයක් බවයි. එහෙත් ඉන් සති කිහිපයකට පසු ඉන්දීය රජය පතංජලී සමාගමට දැනුම් දී තිබුණේ එහි වෙළෙඳ ප්‍රචාරක කටයුතු නවතා දමන ලෙසය. ඒ වන විටත් සමස්ත ඉන්දියාව පුරාම අති විශාල වශයෙන් බෙදා හරිමින් තිබුණු මේ ඔසුව එසේ තහනම් කරන්නට උත්සාහ ගැනීමත් සමග හට ගත්තේ මහත් කලබෑනියකි. ගුරු රාම්දේව් එය 100% ප්‍රතිඵල පෙන් වූ ඔසුවක් යැයි එහිදී සඳහන් කර තිබුණි. එහෙත් ඊට එරෙහිව කටයුතු කළ ඉන්දීය රජය ඔවුන්ගෙන් විමසා තිබුණේ එය 100% සාර්ථකත්වයක් පෙන්වූයේ නම් ඒ සම්බන්ධව සිදු කළ සායනික පර්‌යේෂණ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි. එනමුදු එරට ආයුර්වේද වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පතංජලී ඖෂධය තවදුරටත් බෙදා හරින්නට හැකි නමුත් එය කොවිඩ් ප්‍රතිකර්මයක්ය යන ලේබලය යටතේ සිදු නොකළ යුතු බවය. ආයුර්වේද කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මෙකී ඖෂධය බෙදා හැරීමට සහ විකිණීමට අවසර ලබාදී තිබෙනවා. ඒත් ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමේ ඖෂධයක් වශයෙන් පමණයි. එහෙත් එය කොවිඩ් - 19 මැඬලීම සඳහා අනුමත ඔසුවක් වශයෙන් නෙවෙයි. එකී ඉන්දීය අමාත්‍යාංශය මාධ්‍යයට කරුණු දක්වා ඇත. එහෙත් ගුරු රාම්දේව් පවසා තිබුණේ එය යම් වචන පටලැවිල්ලක් බවය. ආයුර්වේද අමාත්‍යාංශයම පවසා තිබුණු පතංජලී ඔසුව කොවිඩ් වසංගතය කළමනාකරණය කර ගැනීම සඳහා මහඟු සහායක් බවය.   ආයුර්වේද අමාත්‍යාංශය හා බැඳුණු ප්‍රාන්ත දෙපාර්තමේන්තුවෙන් අපට ඒ සඳහා අවශ්‍ය බලපත්‍රය පවා  ලැබී තිබෙනවා. ‘‘ප්‍රතිකාර’’ යන වචනය මෙහිදී යොදා ගැනුණේ නැහැ. අනෙක් අතට මේ ඖෂධයේ කිසිදු ලෝහක මූලද්‍රව්‍යයක් අඩංගු කර නැහැ’’ තවදුරටත් කරුණු දක්වන රාම් දේව් පවසා ඇත්තේ මේ ස්වාෂහාරි, ගිලෝයි, තුල්සි හා අශ්වගන්ධ හා සහසංයෝජිත ඔසු කට්ටලය ඉන්දීය රජය විසින් තහනම් කර නැති බවයි. එසේ තහනම් නොකිරීම ගැන ඔහු ආයුර්වේද අමාත්‍යාංශයටත් නරේන්ද්‍ර මෝඩි රජයටත් ප්‍රසිද්ධියේ තුති පළ කරද තිබුණි. දේශීය ඖෂධ පිළිබඳ සැකමුසු ඇසකින් බැලීම ගැන ඉන්දීය සමාජය තුළින්ද යම් විරෝධයක් පැන නගිමින් තිබුණු බවක් දකින්නට ලැබුණි. අප මේ ඔසුව කොරෝනා වයිරසයට බලපාන්නා වූ ආකාරය ගැන පර්‌යේෂණ කළා. ඒ වගේම මට්ටම් තුනකින් යුතු පර්‌යේෂණ ක්‍රියාවලියක් හරහා වෙනත් උණ රෝග, හෘද රෝග ආතරයිටිස්, ඇදුම ආදී රෝග දහයකට වඩා වැඩි සංඛ්‍යාවකට එය ප්‍රත්‍යක්ෂ බවත් අප ඔප්පු කර තිබෙනවා’’ පතංජලී නිර්මාතෘවරයා එවක මාධ්‍යයට පවසා තිබුණි. නඩුහබ, පැටලිලි, පැමිණිලි ගණනාවකින් පසුව පතංජලී ඔසුවට ලැබුණ පිළිතුර වූයේ එය විකිණීම හා බෙදා හැරීම තහනම් නැති බවයි. ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට උපකාරී වන ඖෂධයක් වශයෙන් එය නම් කරන්නට අවසර ලැබුණද කොවිඩ් 19 සුවය සඳහා භාවිත කළ හැකි බවක් කියන්නට ඔවුන්ට අවසර නොලැබුණි.   පාලිත ජයකොඩි
 

More News..