roadBlockMobile
brand logo
logo

බල්ලෙකුට ගලකින් ගැහුවොත් අවුරුදු තුනක් හිරේ

12 January 2022

සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක්

සුනඛයෙකුට ගල් පහරක් එල්ල කළත් එම සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක් හා වසර තුනක සිර දඩුවමක් නියම කළ හැකි පරිදි සකස් කරන ලද සත්ව සුභ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 19 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද අනුමැතිය ලැබී තිබුණි. සත්ව හිංසනයක් සිදුකරන අයකුට රුපියල් 125,000 ක උපරිම දඩයක් හා වසර තුනකට නොඅඩු සිරදඬුවමක් සත්ව සුභ සාධන නව පනතට අනුව ලබාදිය හැකි බවත්,මෙම පනත අනුව කටයුතු කිරීමට වෙනම පශු වෛද්‍ය නිලධාරියකු පත්කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. ගොවිපළවල, නිවෙස්වල, කැලෑබද, අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.

“ මෙරටේ සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවයි. එම පනත යටතේ සත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් පමණයි. මේ නිසා මේ පනත සංශෝධනය කරන්න අපි පියවර ගත්තා.⁣ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. මෙම යෝජිත පනත ගැසට් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, අනුමැතිය ලබා ගන්න අපේක්ෂා කරනවා."යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

සාලිය කුමාර ගුණසේකර නයන තරංග ගමගේ
 

More News..