brand logo
logo

පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙන පොදූ

28 November 2020

නිලු අලගියවන්න සහ කෞෂි විජේතුංග හොඳම මිතුරියන්... කෞෂිගේ සහෝදරයා තමයි ආදිත්‍ය විජේතුංග කියන්නේ. මොවුන් තිදෙනා කුඩා අවධියේ සිටම ඉතා ළඟින් හා ලෙන්ගතුකමින් ජීවත්වෙනවා.... පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වාම තිදෙනාගේ බැඳීමේ කිසිදු වෙනසක් නොවන අතර විශ්වවිද්‍යාලය තුළද ඔවුන්ගේ සහෝදරත්වය තව දුරටත් වර්ධනය වෙයි.... ආදිත්‍ය සෑම විටම පොදු ප්‍රශ්නවලට මැදිහත් වන අතර ඒවා විසඳීමට සහ පිළිතුරු සොයා දීමට වැඩි වශයෙන් පෙලඹෙයි... මේ නිසාම ඔහු අන්‍යයන් ගැන වැඩිපුර සිතන චරිතයක් බවට පත්වෙයි. මේ අතරතුර නිලුගෙත් ආදිත්‍යගෙත් ආදරය ඔවුන්ට නොදැනීම සිත් තුළ ලියලා වැඩෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ආදිත්‍ය කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය මහ‌සෙන් ගුණරත්නගේ මාධ්‍ය ලේකම් ලෙස රැකියා කටයුතු ආරම්භ කරයි. දැඩි ලෙස නිලුට ආදරය කරන ආදිත්‍ය ඇය විවාහ කර ගැනීමට තීරණය කරයි... ඔවුන්ගේ විවාහය සඳහා නම් ප්‍රසිද්ධ කරන දිනයේ ආදි රිය අනතුරකට ලක්වෙයි. අනතුරින් පසු ආදි මතකය අමතක වීමේ රෝගයට ගොදුරු වෙයි. ආදරය සහ අනෙකුත් මානුෂීය සම්බන්ධතා අතරේ දිවෙන ආදිගේ මතකය නැවත ඔහුට ලැබෙයිද?...   ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය වංශකතාවට අලුතින්ම එකතු වෙන පොදු නාට්‍යයේ කතාව, තේමාව ගැන පුංචි හැඳින්වීමක් තමා ඉදිරිපත් කළේ... නොවැම්බර් 28 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 8.30ට ඔබට මේ අපූරු කතා පුවත රැගත් පොදු නාට්‍ය නරඹන්න පුළුවන්.... වෙනස්ම ආකරයක ටෙලි නාට්‍ය අත්දැකීමක් තිළිණ කරන දෙරණ මාධ්‍ය ජාලය වෙනුවෙන් ‘පොදු’ ගැන කතා කරන්න අපි සම්බන්ධ කරගත්තේ දෙරණ වැඩසටහන් අධ්‍යක්ෂිකා තනතුරේ සිටිමින් මෙම නාට්‍ය අධ්‍යක්ෂණය කරන ෂර්මිලා ධර්මරාසා ​ෆොන්සේකායි. රියැලිටි වැඩසටහන් අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂකයනට වෙනස්ම අත්දැකීම් අවුරුදු 15ක් තිස්සේ ලබාදෙන ෂර්මිලා ධර්මරාසාගේ අලුත් ව්‍යායාමය පොදු නිර්මාණය කිරීමට බලපෑ කාරණාව අවධාරණය කළා. ලංකාවේ රූපවාහිනි නාළිකා විශාල ප්‍රමාණයක් නාට්‍ය විකාශනය කෙරෙනවා. ඒ අතරින් දෙරණ නාළිකාවේ විවිධත්වයෙන් යුත් වෙනස්ම නාට්‍ය කීහිපයක් විකාශනය වෙනවා. දෙවැනි ඉනිම හා සංගීතේ එක රාමුවක් යනකොට ධරණි වගේ වෙනස් නාට්‍යයක් පෙන්වන්නේ රුචිකත්වයේ වෙනසක් ඇති කරන්න... රාවණා කියන්නේ තාක්ෂණය භාවිත කෙරුණු ප්‍රේක්ෂකයන් මෙතෙක් නොබලපු වීර නාට්‍යයක්. මේ හැම නාට්‍යක්ම ජනප්‍රියයි. අවුරුදු පහළොවක් මම දෙරණ රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂිකාව හැටියට කටයුතු කරනවා. ලබාගත්තු අත්දැකීම් එක්ක වෙනස්ම ආරයක දෙයක් කළ යුතුයි කියන සංකල්පය මගේ හිතට ආවා. මේක දීර්ඝ නාට්‍යයක් නොවේ. ටී.වී. සීරිස් එකක් වශයෙන් තමයි කරන්නෙ හිතාගත්තේ. වෙනස්ම ස්ටයිල් එකකට නිර්මාණය වෙච්ච නාට්‍යයක් හැටියට තමයි මම පොදු දකින්නේ. පොදු නාට්‍යයේ පූර්ව ප්‍රචාරක පටය මේ දිනවල ඔබට දැකගන්න පුළුවන්... එහි ඇති විශේෂත්වය මේ පූර්ව ප්‍රචාරක පටය තුළට අපි අන්තර්ගත කරලා තිබෙනවා. අලුත් නාට්‍යයකට කතා තේමාවක් තෝරා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශ්වවිද්‍යාල පදනම් කරගත් තේමාවක් ඉදිරිපත් කිරීමේ අභියෝගය ගැන තිබෙන්නේ මෙවන් අදහසක්. මේක මම තනිවම ලියපු කතාවක් නොවේ. සුදේශ් උදයකුමාර, ධම්මික විජේවික්‍රම අපි තුන්දෙනාම එකතුවෙලා සාකච්ඡා කරලා තමයි මේ කතාව සකස් කරන්නේ.... වෙනත් කිසිම නිර්මාණයක ආභාෂයක් අරගෙන නොවෙයි මේ කතාව නිර්මාණය කෙරුවේ. සීයට සීයක්ම දේශීය කතාවක් කියලා මට පැහැදිලිවම කියන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කතා කරන්නේ තරුණ අය අතර තියෙන ප්‍රශ්නයක්... විශ්වවිද්‍යාල අරගල ගැන ප්‍රවෘත්තිවලින් දකින කතාව විතරයි ප්‍රේක්ෂකයෝ දකින්නේ. එහි ඇතුළට ගිහින් කවුරුවත් කතා කරලා නැහැ... වෘත්තීය සමිති නායකයෙක් වටා ගෙතෙන කතා පුවතක් තමා අපි නාට්‍යයට අරගෙන එන්නේ... විශ්වවිද්‍යාලයක් ඇතුළේ ලබන අත්දැකීම ලබන්නේ සීමිති පිරිසක් විතරයි.....ගහගන්නේ රණ්ඩු කරන්නේ දේශපාලනය වෙනුවෙන්ම විතරක් නොවේ... ඒ වගේ තව කෙනෙක් නොදුටු පැත්තක් ගැන පොදු තුළින් කතා කරන්න උත්සාහ කරනවා. මෙහි ඇති කටුකත්වය, සුන්දරත්වය හා කෙලිලොල් බව නව මානයකින් දකිනවා. විශ්වවිද්‍යාල කියපු සැණින් ශිෂ්‍ය ව්‍යාපාර ගැන කතා කළ සැණින් මතක් වෙන්නේ දේශපාලනය..... මේ තේමාව ඔස්සේ කතා කෙරෙන්නේ දේශපාලනයද කියන ප්‍රවේශයට පැහැදිළි පිළිතුරක් ලබා දුන්නා... කොහෙත්ම අපි දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ. මොකද අපි පක්ෂයක් පාටක් ගැන කතා කළොත් ඒක පොදු වෙන්නේ නැහැ... විශ්වවිද්‍යාල ඇතුළේ හැමෝටම පොදු වෙන මාතෘකා ගැන පමණයි කතා කෙරෙන්නේ. අරගල ගැන කතා කරනකොට වීරත්වය ඉස්මතු කරන්න උත්සාහ ගත්තා. ප්‍රේමය වැනි සියුම් හැඟීම් හදවතට දැනෙන්න කතා කරනවා. මෙතන කොහෙත්ම රියැලිටියක් නැහැ. කොමන් මෑන් කෙනෙක් ඉන්නේ. දෙයක් හිතුවොත් කරන්න පුළුවන්. වුවමනාවක් තිබ්බොත් කරන්න බැරි දෙයක් නැහැ. තරුණ ජීවය තුළින් මේ පණිවුඩය සමාජගත කරන්න තමයි ‘පොදු’ තුළින් උත්සාහ කරන්නේ. ඔබ මේ නාට්‍යය නරඹන්න. අලුත් දෙයක් සමාජගත කරන්න ඔබටත් හැකිවේවී. දෙරණ නාට්‍ය සඳහා නිරන්තරයෙන්ම තෝරා ගත්තේ අලුත් තරුණ නළු නිළියන්. දෙරණ තුළින්ම හඳුන්වාදෙන තාරකාවන්.... පොදු තුළත් දක්නට ලැබෙන්නේ එයමද? යන කාරණාවට පැහැදිළි පිළිතුරක් ලැබුණා. නාට්‍ය සඳහා නළු නිළියන් තෝරාගන්න කොට අපි හුඟක් කල්පනා කළා. ඉතා ප්‍රවේශමෙන් තමයි ඔවුන්ව තෝරාගත්තේ. ඉතා සුළු චරිතයක් කිරීම සඳහාත් උසස් නළු නිළියන් තෝරාගත්තා. මෙතන වැදගත් වෙන්නේ කරන චරිතය ලොකුද පොඩිද කියන කාරණාව නෙවේ. හැම චරිතයකටම හොඳ බරක් දුන්නම වටිනාකමක් දුන්නම කරන සුළු චරිතය පවා අමතක නොවන චරිතයක් බවට පත්වෙනවා. මේ රීතිය අපි අනුගමනය කළා. රන්දික ගුණතිලක, ලහිරුණි සල්වතුර, මනෝජා ෆාර්නැන්ඩෝ රසාදරී පීිරිස්, කලණ ගුණසේකර, ප්‍රියන්ත සිරි කුමාර, සම්පත් චමින්ද ජයවීර, ලක්රංග හේවාවිතාරණ, දෙවිනික පෝරගේ, තනූජා ජයවර්ධන, ගයනි ගිසන්තිකා, කුමාර ජයකාන්ත, අනුරුද්ධිකා පාදුක්කගේ, ජනක කුඹකගේ, හයිසින්ත් විජේරත්න යන ප්‍රබල නළුනිළි කැල දකිද්දී පොදු තුළ ඇති රංගන පරාසය කොතෙක් දැයි කියා තේරුම් ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා. ​මේ අතරින් ප්‍රධාන චරිත ගැනත් පුංචි අදහසක් එක් කළා. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ නැගී එන නළුවා ලෙස සම්මාන දිනාගත් රන්දික ගුණතිලක තමයි ප්‍රධාන නළුවා හැටියට තෝරාගත්තෙ. පාංශු චිත්‍රපටයෙත් ඔහු දක්ෂ රංගනයක නිරත වෙනවා. ප්‍රේක්ෂකයාට මතක හිටින රංගනයක් ඔහු ඉදිරිපත් කරනවා. ප්‍රධාන නිළියගේ භූමිකාවට අපි අලුත් මුහුණක් ගේනවා. තිර පරීක්ෂණ කීපයකින් පසුව තමයි ලහිරුණි සල්වතුරව තෝරාගන්නේ. මේ ඇයගේ ප්‍රථම නාට්‍යය. ඔවුන් දෙදෙනාගේ ඉතා හොඳ ගැළපීමක් තියෙනවා. මම හිතන්නේ බොහෝ දෙනෙක් ඉදිරියේදී ඔවුන් ගැන කතා බහ කරයි. ඕනෑම නිර්මාණයක සාර්ථකත්වයට බලපාන ප්‍රධාන අංගය වන සංගීතය. පොදු සඳහා භාවිත කළ ආකාරය ගැන තිබෙන්නේ මෙවන් අදහසක්.... නිමේෂ් කුලතුංගව තෝරාගත්තේ ඔහු අපට සිටින විශ්වාසවන්තම සංගීතවේදියා නිසා. නාට්‍ය තුළ සංගීතයෙන් කළ හැකි දේ බොහෝමයි. දෙරණ එය ඉතා ඉහළ මට්ටමින් ඔප්පු කරලා පෙන්නූ නාළිකාවක්. පොදු නාට්‍ය තුළ සුමියුරු ගීත 5ක් අන්තර් ගතවෙලා තියෙනවා. සමහර විට මෙය ඔබ නරඹන සුන්දර චිත්‍රපටයක් ලෙස සිතන්නට පුළුවන්. පසුතල දකින විට ඔබට මෙය දැනේවි. මෙහි සමහර ගීත පාන්දර තුනට විතර වැස්සේ රූපගත කළේ. ස්වාභාවිකව ප්‍රේක්ෂකයාට ඒ අත්දැකීම ඒ ආකාරයට ලබාදෙන්න මට ඕන වුණා. පොදු වෙනුවෙන් මෙහි නළු නිළි කැල වගේම අනෙකුත් සියලුමදෙනා ලොකු කැපකිරීමක් කළා. සෙනසුරාදා රාත්‍රි 8.30ට ඔබේ ආලින්දයට පැමිණෙන පොදු ගැන එහි අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා මහත්මිය දැක්වූයේ එවන් අදහස් කීපයකි. නමුත් ඔබට ඉදිරියේදී පොදු තුළින් විඳගන්න බොහෝ දේ ඇත. සෑම සති අන්තයකම පොදු නරඹන්න කියන පණිවුඩය සමගින් ඇය මෙවන් කෙටි​ ටෙලිනාට්‍යය ගැන පුංචි අදහසක් අවසන් වශයෙන් එක් කළා. පොදු කියන්නේ දීර්ඝ නාට්‍යයක් නොවේ. කෙටි නාට්‍යයක්. කොටස් අටකින් මෙය අවසන් වෙනවා. දීර්ඝ නාට්‍යයක් කරනවාට වඩා හොඳින් සැලසුම් කරලා කෙටි නාට්‍යයක් කරන්න පුළුවන්. අනෙක් කාරණාව මේ මම අධ්‍යක්ෂණය කරන ප්‍රථම නාට්‍යය. බොහෝ වැඩසටහන් නිර්මාණය කිරීමෙන් පසු තමයි මම මේ ටෙලිනාට්‍ය අත්දැකීම ලබන්නේ. අතිශය කාර්ය බහුලත්වයකින් පස්සේ පසුගියදා පුංචි විවේකයක් ලැබුණා. ඒ කාලය තුළ තමයි නාට්‍යයකට සුදුසු තේමාවක් ගොඩනගාගත්තේ.... එය සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා. එම සාර්ථකත්වය තහවුරු කිරීමේ අයිතිය මම ප්‍රේක්ෂක ඔබට ලබාදෙනවා. අනිවාර්යයෙන්ම පොදු නරඹන්න......ඔබ ලබාදෙන ප්‍රතිචාරවලින් පොදු දෙවන කොටස නිර්මාණය කරන්න උත්​තේජනයක් ලැබේවී.
 

More News..