ජීවිතේ ගැන කලකිරීමක් අද මට නැහැ
04 September 2019
ජීවිතේ ගැන කලකිරීමක් අද මට නැහැ
04 September 2019
වේදිකා නාට්‍යය තුළින් තම රංග කෞශල්‍ය ඔප් නංවා ගත් දැවැන්ත නළු නිළියන් අද වන විට සිටින්නේ අතළොස්සකි, එවන් චරිත අතරේ මෙතුමටත් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ එදා අපේ ලාංකීය වේදිකා නාට්‍ය තුළ ඔහු පෙන්වූ රංග පෞරුෂය නිසාවෙනි. අද වනවිට අසනීප තත්වයෙන් පසුවන නිසා රංගනයෙන් යම් හෙයකින් ඈත්ව සිටියද එතුමන්ගේ රංග ප්‍රතිභාව නම් කිසි ලෙසකින් මතකයෙන් ඈත් නොවේ....
මේ සුමින්ද සිරිසේන නාමය කලාවේ රැඳවු ආරම්භය
ගිරිකූඨ නාට්‍යයේ සීගිරි කාශ්‍යප චරිතය තමා මගේ මුල්ම චරිතය වුණේ, මම නළුවෙක් වුණේ පාසලෙන් කිව්වොත් තමා හරි, ඒ එක්කම කියන්න ඕනේ මගේ ගෙදරත් කලාවට ලැඳී පරිසරයක් තිබ්බේ, මට තාම මතකයි මගේ තාත්තා ගෙදර සඳකිඳුරු නාට්‍ය කරනවා, අපි ඉතින් කට ඇරන් බලන් ඉන්නවා, ඔය කාලේ ඉඳන් තමා මට රඟපාන්න ආසාවක් ඇති වුණේ...
මගේ මුල්ම පාසල පුස්සැල්ලාව මහා විද්‍යාලය ඒ කාලේ කුමාරෝදය පොත්වල තිබ්බ පුංචි පුංචි නාට්‍ය තමා මුලින්ම කළේ, මම ගියා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට, එතැනදී තමා මම හරියටම මොකක් ද මේ රංග කලාව කියලා හරියටම දැන ගත්තේ. ඒකට විශේෂත්වයක් වුණේ නාට්‍ය හා රංග කලාව ගැන කතාකරද්දී අමතක කරන්නම බැරි චරිත කිහිපයක ඇසුර ලබන්න මම වාසනාවන්ත වුණා. ඒ අතර ආරියවංශ රණවීර, දයා අල්විස්,ජයසුමන දිසානායක වගේ අය හිටියා. ආරියවංශ රණවීර තමා ගිරිකූඨ නාට්‍ය කළේ, එය තමා මගේ ආරම්භය ඒ චරිතය තමා මාව සමස්ත ලංකා මට්ටමටත් ගෙනාවේ. ඒ දවස්වල නාට්‍ය ගැන තිබ්බේ පුදුම උනන්දුවක් කැපවීමක්, ඒ නිසා දිගින් දිගටම නාට්‍යවල නිරත වුණා,නාට්‍ය තරගවලටත් ඔය අතරේ සම්බන්ධ වුණා, ඒ හරහා කොළඹට පවා ආවා ගියා, ඉතින් ඔහොම තමා මේ රංගන ක්ෂේත්‍රයට පාර කැපුණේ.
පසුකාලීනව දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව සඳහා කොළඹ ආවට පස්සේ මට අවසථාව ලැබුණා ධම්ම ජාගොඩයන් හඳුනාගන්න ඒ දයා අල්විස්ගේ මාර්ගයෙන්,ඒ හමුවීම මගේ කලා ජීවිතේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත් වුණා. මොකද මම සවස 5න් පස්සේ හැමදාම වගේ ධම්ම ජාගොඩගේ රංග ශිල්ප ශාලාවට ආවා, ඒ රංග ශිල්ප ශාලාවේ සෙවණ ලබද්දී ඒ රංග ශිල්ප ශාලාවේ සියලුම නිර්මාණවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒවගේම මනමේ නාට්‍යයේ පොතේ ගුරුගේ චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නම් නැහැ.
ප්‍රසිද්ධ වේදිකාවේ මට ලැබුණු මුල්ම චරිතය වුණේ මුදු පුත්තු නාට්‍යයේ දියෝතිස්ගේ චරිතය. මගේත් එක්ක සමකාලීනව වේදිකාවට ආපු කෙනෙක් තමා රවීන්ද්‍ර රන්දෙණිය, එයාගෙත් පළමු නාට්‍ය වුණේ මුදු පුත්තු නාට්‍යය.රවීන්ද්‍රයි මමයි තමා මාරුවෙන් මාරුවට මේ දියෝතිස්ගේ චරිතය කළේ, දවසක් මුදු පුත්තු නාට්‍ය බලන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇවිත් තිබ්බා, එදා දියෝතිස්ගේ චරිතය කළේ රවීන්ද්‍ර රන්දෙණිය, එදා රවීන්ද්‍රව දැකලා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටයකට පවා සම්බන්ධ කර ගත්තා.
ඊට පස්සේ එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ මනමේ නාට්‍යයේ පොතේ ගුරු විදියට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඔය අතරේ තව 1970 දශකයේ බිහිවුණු වේදිකා නාට්‍ය බොහොමයක මම රඟපෑවා. ඒ එක්කම මම 1979 දී විදෙස් ගත වුණා, මුලින්ම ඕමාන් රටට ගිහින් ගොඩනැගිලි අංශයේ රැකියාවක් කළා වසර 2ක්, නැවත ලංකාවට ඇවිත් මම විවාහ වුණා. ආයෙත් විදෙස් ගත වෙලා 1984 දී තමා නැවත ලංකාවට ආවේ, ඒ වෙනකොට මා ගැන තිබ්බ මතකය අමතක වෙලා.
ලංකාවට ආවට පස්සේ තිලක් ගුණවර්ධනගේ නාට්‍යවලට මම සම්බන්ධ වුණා, නැවත මට වේදිකාව තුළ ජීවය ලබන්න පුළුවන් වුණේ මියුරි සමරසිංහගේ සපතේරු හාමිනේ නාට්‍යයෙන්, ඒ වගේම සෝමරත්න දිසානායකගේ මී පුර වැසියෝ නාට්‍යයත් ඔය කාලෙම තමා ලැබුණේ, පසුව පරාක්‍රම නිරිඇල්ල සහ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා, එතැනින් පස්සේ ඉතින් දිගටම මම වේදිකා නාට්‍යවලට දායක වුණා.
සිනමාව ගත්තොත් නම් මම ඒ තරම් සිනමා නිර්මාණ ප්‍රමාණයක රඟපාල නැහැ, 1976 දුහුළු මලක් චිත්‍රපටයේ උපාලි කියන චරිතය කළා. ඊට පස්සේ සිනමාවේ දඬු මොණරා, ගුරු ගෙදර, සප්ත කන්යා, යකඩ පිහාටු, ගිණි කිරිල්ලි, උඩුගං යාමය, සමනල තටු, උප්පලවන්නා, පිටසක්වල කුමාරයයි පැන්චෝ හතයි, ඉර හඳයට, ගාමිණී, බෝම්බ සහ රෝස යන චිත්‍රපටවල මම රඟපෑව, මේ නිර්මාණවල ඉතින් ටිකක් හරි ලොකු චරිතයක් කියලා කළේ සෝමරත්න දිසානායකගේ සමනල තටු චිත්‍රපටයේ තමයි.
මම සල්ලි පස්සේ ගිය කෙනෙක් නෙවෙයි, නිර්මාණයේ තියෙන ගුණාත්මකභාවය එක්ක මට දෙයක් කරන්න පුළුවන් චරිත භාර අරගෙන ඊට උපරිම සාධාරණය කරන්නයි මම හැමවෙලේම උත්සහ ගත්තේ, පුංචි තිරය ගත්තොත් නම් බොහෝ නිර්මාණවලට මම දායක වුණා. 2010 දී බොරළු පාර ටෙලි නාට්‍යයේ වැඩකටයුතු අතරතුර තමා මම අසනීප වුණේ, ජීවිතය ගැන නම් මගේ කිසිම කලකිරීමක් නැහැ මොකද කාටත් අසනීප කියන දේවල් හැදෙනවනේ, කලාවට එදා වගේම අදත් මම ආදරෙයි...
අනූෂා රණසිංහ