brand logo
ඊශ්‍රායල් ගුවන් යානා ලංකාවට ඒම නවතයි

ඊශ්‍රායල් ගුවන් යානා ලංකාවට ඒම නවතයි

18 April 2024 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මෙරට සංචාරය ගැන නිල වශයෙන් දැනුම් දීමත් සමග මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණි ගුවන් ගමන් නවතා දැමීමට ඊශ්‍රායල් ගුවන් සමාගම කටයුතු කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සනාථ කළේය.

අර්කියා ගුවන් සේවාවට අයත් I Z 639 ගුවන් යානය මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට කටුනායක වෙත පැමිණ තිබිණි. ඊශ්‍රායලයේ සිට සීසෙල්ස් දූපත් වෙත ගමන් කර ඉන්දියානු දූපතකින් විශේෂ ආරක්ෂක උපකරණ හා ආරක්ෂකයන් සමග මෙරටට පැමිණෙන මෙම ගුවන් යානයට ඇතුළු වන මගීන් ගුවන් යානා පර්යන්තයේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර ගුවන් යානයට නංවා ගැනීම සිදුවිය. මෙම ගුවන් යානය පැමිණ පිටවන තුරු අනවසර කිසිවකුට එහි ළඟාවීමට නොහැකි වූ අතර අති දියුණු ආරක්ෂක පද්ධතියකින් එයට ඇතුළුවන මගීන් පරීක්ෂා කිරීම සිදුවිය.

මෙම දැඩි පරීක්ෂාවට මෙරට ගුවන් යානා ඉංජිනේරුවන්ගේ විරෝධයද පළවී තිබිණි.

මෙම ගුවන් යානය මෙරටට පැමිණීම නිසා ඊශ්‍රායලයේ සාත්තු සේවය ඇතුළු රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට මහත් පහසුවක් වුවත්, එම ගුවන් යානා නැවතීමත් සමග ෆ්ලයි ඩුබායි ගුවන් සේවය මගින් ඊශ්‍රායලයට යාමට ගිය හතළිස් දෙනකු ඩුබායිහිදී අතරමං වූ බව ගුවන් තොටුපළ බලධාරියකු සඳහන් කළේය. ගුවන් ගමන් කාලසටහන අනුව ඊශ්‍රායල් I Z 639 ගුවන් යානය ඊයේ (17 වැනිදා) නැවත සීසෙල්ස් ඔස්සේ ලංකාවට පැමිණෙන ගමනාන්තයක් පෙන්නුවද එය සිදු නොවුණු බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පැවැසීය.

 

More News..