brand logo
ඩොලරයේ බැස්ම සව්කොළයෙන් මතුවේ

ඩොලරයේ බැස්ම සව්කොළයෙන් මතුවේ

18 April 2024 | සාලිය කුමාර ගුණසේකර

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ මිල පහත වැටීමත් සමග වෙසක් කූඩු, වෙසක් කොළ, බකට් ආදියෙහි මිල විශාල ලෙස පහත වැටී ඇතැයි පිටකොටුව, පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්දෝ ඊයේ (17 වැනිදා) කියා සිටියහ.

අලුත් අවුරුදු සතිය අවසන් වීමත් සමග පිටකොටුව, පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසල් තුළ වෙසක් කූඩු, වෙසක් කොළ ඇතුළු විවිධ සැරසිලි අලෙවි කිරීම මේ දිනවල ආරම්භ කර තිබේ.

ඉකුත් වසරේදී (2023) රුපියල් 110කට අලෙවි කෙරුණු අඟල් 08ක ප්ලාස්ටික් අටපට්ටමක මිල රුපියල් 70ක් දක්වාද, රුපියල් 12,000කට අලෙවි කෙරුණු ඉටි පන්දම් ඇසුරුමක (ඉටිපන්දම් 1,200) මිල රුපියල් 9,000 ක් දක්වාද, රුපියල් 4,700කට අලෙවි කෙරුණු සව් කොළ (වෙසක් කොළ) 480ක බණ්ඩලයක මිල රුපියල් 4,500ක් දක්වාද, රුපියල් 300කට අලෙවි කෙරුණු රැලි බකට් 05ක මිල රුපියල් 250ක් දක්වාද අඩුවී තිබෙන බව වෙළෙන්දෝ පවසති.

කැටයම් කපන ලද කාඩ් බෝඩ් අටපට්ටමක් රුපියල් 500 සිට රුපියල් 750 දක්වා වූ විවිධ මිල ගණන්වලට අලෙවි කෙරේ. මෙම සැරසිලි වැඩි වශයෙන් චීනයෙන් ආනයනය කෙරෙන බවත්, රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල අඩුවීම නිසා වෙසක් සැරසිලි මිල ගණන් පහත වැටී ඇතැයිද ඔවුහු කියා සිටිති.

 

More News..