කලුරිය කළ කළු කොටියා කොළඹ හතට එයි !
09 June 2020
කලුරිය කළ කළු කොටියා කොළඹ හතට එයි !
09 June 2020
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයාය අක්කර ගණනාවක් පුරා විහිදයන්නකි. වාලමලේ කෝවිල පිහිටා ඇත්තේ වතුයායේ එක් පසෙකට වෙන්නටය. එහි එළවළු වගාබිමක මද්දක් අටවා තිබුණේ වගාබිම පාළු කරන්නට එන සතකු හෝ මසට ගත හැකි සත්වයකු දඩයම් පිණිසය. එහෙත් පසුගිය මැයි 26 වැනිදා උගුලේ සිරවී දඟලමින් සිටියේ ඉතාම දුර්ලභ ගණයේ කළු කොටියෙකි.
ශ්‍රීපාද රක්ෂිතය ආසන්නයේ සැරිසැරූ මෙම දුර්ලභ සත්වයාට අත්වූ ඉරණම පිළිබඳ දැනගත් වනජීවී නිලධාරීන්, කොටියාට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී, උඩවලව සත්ව රෝහල වෙත රැගෙන ගියේ යළිත් කළු කොටියා ශ්‍රීපාද රක්ෂිතයට මුදාහැරීමේ බලාපොරොත්තු සමගිනි.
කෙසේ නමුත් බලාපොරොත්තු නොවූ ලෙස සිදුවූ කළු කොටියාගේ මියයෑම අධිකරණය දක්වාම දිවෙන සිදුවීමක් වූ අතර දැන් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ඉදිරිපත් වී සිටින්නේ මියගිය කළු කොටියාට අලුත් ජීවිතයක් උදාකර දෙන්නටය.
මියගිය කළු කොටියා යළි ඉපදවීමේ වගකීම ජාතික කෞතුකාගාරය විසින් තම කරමතට ගැනීම තුළින් කළු කොටියාට තම දුලබ වටිනාකම තවත් අවුරුදු සියගාණකට මේ මහපොළොව මත තබන්නට හැකියාව ලැබෙනු ඇත.
''Panthera Pardus Kotiya" යන විද්‍යාත්මක නමින් යුත් කළු කොටියා ජාන විකෘතිවීමක් හේතුවෙන් කළු පැහැයෙන් යුක්ත වූවකු වූවද ඌ සැබෑවටම දුර්ලභ වූ සත්වයකු ලෙස බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තෙකි. එබැවින්ම කළු කොටියාගේ මරණයත් සමග සසල වූ බොහෝ සිත්වලට මෙය අස්වැසිල්ලක් ගෙනෙන පුවතක් වනු නොඅනුමාණය.
ඒ අනුව කළු කොටියා චර්ම ශිල්පී ක්‍රම ඔස්සේ ආදර්ශයක් ලෙස පුළුන් පුරවා සකස් කිරීමට ජාතික කෞතුකාගාරය ඉදිරිපත්ව ඇත. එහි ගෞරවය හිමිවිය යුත්තේ මෙම අදහස මූලිකව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ඉල්ලූ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මියටයි. දුර්ලභ කළු කොටියාට කෞතුකාගාරයේ ඉඩක් ලබාදෙන්නට අදහස් කිරීම පිළිබඳව ඇය කීවේ මෙවැන්නකි.
‘‘මියගිය කළු කොටියා සජීවීව යළි අපිට දකින්නට නොහැකිවීම කනගාටුවට කරුණක්. ඒත් අඩු තරමේ අපිට අපේ අනාගත පරපුරට දකින්නට සංරක්ෂණය කරලා තියන්නවත් ලැබෙනවා නම් හුඟක් වටිනවා. ඒ නිසා අපේ දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශ ලේකම්තුමා හරහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරා අපිට, මේ සතා ලබා දුන්නොත් චර්ම ශිල්පී ක්‍රමවේදයට අනුව සංරක්ෂණය කොට අනාගත පරපුර සඳහා නරඹන්න ඉඩ ලබාදෙන්න පුළුවන් කියලා. කොහොම වුණත් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. මෙම කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසු අපිට නීත්‍යනුකූලව මෙම සත්වයා කෞතුකාගාරයට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි අපේ චර්ම ශිල්පී අංශයේ සියලුම කාර්ය මණ්ඩලය මේ කටයුත්ත සාර්ථකව සිදුකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.’’
ඇය කී පරිදිම වන සංරක්ෂණ දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ ද අධිකරණ කටයුතු නිමාවීමෙන් පසු කළු කොටියා නීත්‍යනුකූලව ජාතික කෞතුකාගාරයට ලබාදීමට සූදානම් බවයි.
එසේනම් ශ්‍රීපාද රක්ෂිතයේ කළු කොටියාගේ මීළඟ නිවහන වන්නේ කොළඹ හත මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ජාතික කෞතුකාගාරයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාර පරිශ්‍රයයි. එම භූමියේ දිවිගෙවන දහස් ගණනක් වූ සතුන් අතරට පැමිණෙන අලුත් අමුත්තා පිළිගන්නට දැන් සියලුදෙනා සූදානම්ය.
මේ අලුත් අමුත්තා දිගුකලක් ජීවමාන කිරීමට චර්ම ශිල්පී අංශය සූදානම්ය. 1877 වසරේ ජනවාරි පළමුවැනිදා මෙරට ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි ග්‍රෙගරි විසින් ජාතික කෞතුකාගාරය ආරම්භ කළේ. එදිනම ඇරඹූ අංශ කීපය අතරට චර්ම ශිල්පී අංශයද ඇතුළත්ය. එදා පටන් අද දක්වාම මෙම අංශය තුළින් සිදුකරන ලද කාර්යභාරය අතිමහත්ය.
මියගිය සතුන්ගේ සම්වේළීම හෙවත් චර්ම ශිල්පය සඳහා පිහිටුවනු ලැබූ මෙම අංශය පොදුවේ Taxidermy යන නමින් හඳුන්වනු ලබයි. 1877 වසරේ සිට මෙම අංශය තුළ මෙලෙස මළ සතුන් දහස් ගණනක් සංරක්ෂණය කොට තිබීම සැබෑම ප්‍රාතිහාර්යයකි.
මෙම ක්‍රියාවලිය අතීත ඊජිප්තුවේ මමී සංරක්ෂණයට යොදාගත් ක්‍රම ශිල්ප ඔස්සේ ඇති වූවකි. අද වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පී අංශයේ සහකාර අධ්‍යක්ෂ ධුරය දරනු ලබන්නේ ලංකානි සෝමරත්න මහත්මියයි. එහි චර්ම ශිල්පිනිය වන්නේ චමල්කා කොතලාව මහත්මියයි. මේ අංශයේ සිදුවන අමිල වූ සේවයට අමතරව සඳහන් කළ යුතු කාරණයක් නම් දකුණු ආසියාවේ එකම කාන්තා චර්ම ශිල්පිණිය චමල්කා කොතලාවල මහත්මිය වීමයි.
1877 වසරේ සිට මෙම අංශය තුළ කුරුල්ලන් 4000කගේ පමණ ආදර්ශක මෙහි වේ. ක්ෂීරපායි සත්ව ආදර්ශක 3000ක් පමණය. ඊට අමතරව සෙසු සතුන්ගේද ආදර්ශක දහස් ගණනකි.
කුඩා ක්ෂීරපායින්ගේ සම්පූර්ණ කොටස්ද මහා ක්ෂිරපායින්ගේ කොටස්ද ඒ අතර වේ.
මෙම චර්ම ශිල්පී අංශයේ සිදුවන කාර්ය සාමාන්‍ය පුද්ගලයකුට සරලව පහදා දිය හැක්කේ පුලුන් පුරවපු සතුන් බවට පත්කිරීමේ ක්‍රියාවලිය ලෙසය.
උදාහරණයක් ලෙස දළදා මාලිගාවේ රාජා ඇතාගේ අනුරුව නිර්මාණය කරන ලද්දේද මෙම අංශය මගිනි. ඉතා සංක්ෂිප්තව මෙම අංශයෙන් සිදුවන ක්‍රියාවලිය පිළිබඳ සලකා බැලීමේදී මෙහි ඇති සත්ව අනුරූ විද්‍යාත්මක පර්‌යේෂණ සඳහා දත්ත ලබාදීමට භාවිත කරයි. ඊට අමතරව සතුන් පිරවීම, අස්ථි පද්ධති නිර්මාණයද සිදුවේ.
දැනට ගාල්ල ජාතික කෞතුකාගාරයේ හා කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්වාභාවික විද්‍යා කෞතුගාර අංශයේ තැන්පත් කොට ඇති තල්මසුන්ගේ අස්ථි පද්ධතින්, මිල්ලන්ගොඩ රාජාගේ අස්ථි පද්ධතිය ආදී සැකසුම් මෙම අංශයේ සිදුකරන ලද ඒවාය.
එසේම ඇතැම් විට රේගුවෙන් අත්අඩංගුවට ගන්නා ලද සතුන්, සත්ව උද්‍යානයෙන් හෝ වනජීවි දෙපාර්තමේන්තුවෙන්ද මෙම අංශයට ලැබේ.
ඇතැම් විට උසාවි නියෝග ලබාදීම සඳහා ගජමුතු, ඇත්දළ හෝ භූගත සත්ව කොටස් හඳුනාගැනීමේ වාර්තා ලබාදෙන්නද මෙම චර්ම ශිල්පී අංශය මගිනි.
චර්ම ශිල්පි චමල්කා කොතලාවල මහත්මිය පවසන පරිදි මෙම සත්ව අනුරූ සඳහා පුලුන් පිරවීම හෙවත් තිර කිරීම එක්තරා කලාවකි. ඊට විද්‍යාත්මක ක්‍රම ශිල්ප ඇතුළත්ය. එය හදිසියට හෝ නිසි හැදෑරීමකින් තොරව සිදුකළ නොහැක්කකි.
‘සාමාන්‍යයෙන් අපි දැන් මේ අනුරූ සකස් කිරීම සඳහා යොගන්නේ මැරුණු සතුන් විතරයි. 1944ට කලින් වෙඩි තියලා මරලා සතුන් අරන් ඇවිත් තියෙනවා. කොහොම වුණත් අපි සතෙක් මේ තිර කිරීමේ ක්‍රියාවලියට එහෙම නැත්නම් පිරවීමේ ක්‍රියාවලියට ගන්නවා නම් සතෙකු හමුවෙලා පැය දොළහක් ගෙවෙන්න කලින් සංරක්ෂණය කරන්න ඕන. පැය දොළහ පහුවුණොත් එහි තත්ත්වය වෙනස් වෙනවා.
මෙහිදී මුලින්ම සතාගේ මිනුම් ලබාගනී. අනතුරුව සම වෙනමලබාගනී. පිරවීමේ ක්‍රියාවලියේදී හිස් කබලද අත්‍යවශ්‍ය වන්නකි. අනතුරුව අපි සමට සංරක්ෂණ ඖෂධ යොදනවා. සාමාන්‍යයෙන් සතෙක් සංරක්ෂණය කරද්දී සතාගේ මුලින් අපි ගත්තු මිම්මට වඩා ප්‍රමාණයෙන් කුඩාවටයි හදන්නේ. ලොකුවට හදන්න සතාගේ හම මදිවෙනවා. ඒකයි කුඩාවට හදන්නේ.’
මෙසේ සතකු හදන්නට ගතවෙන කාලය තීරණය වෙන්නේ ඒ ඒ සතාට අනුවය. මිල්ලන්ගොඩ රාජාගේ අස්ථි අනුරුව හදන්නට අවුරුද්දක් ගත වී තිබේ. නැවත සංරක්ෂණය කරන්න අවුරුදු එක හමාරක් පමණ ගතවෙන බවද එහිදී දැන ගන්නට හැකි විය.
‘බොහෝ වෙලාවට අපි අනුරු සකස් කරන්නේ ඒ සතුන් පරිසරයේ ඉන්න විදිහට. සාමාන්‍යයෙන් මේ හැම සත්ව ආදර්ශකයක්ම අවුරුද්දකට එක්වරක්වත් සංරක්ෂණය කරන්න ඕන.’
කළු කොටියාද දැන් එම චර්ම ශිල්පී ක්‍රමවේද අනුව සංරක්ෂණය කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවේ.
දැනට එවන් කළු කොටියකුගේ අනුරුවක් ගිරිතලේ වනජීවි සංරක්ෂණ කෞතුකාගාරේ පමණයි දකින්නට ඇත.
කෙසේ වුවද නල්ලතන්නිය පමණක් නොව මුළු රටම සත්ත්ව කරුණාවෙන් මුසපත් වී හඬා වැටෙද්දී අවසන් ගමන් ගිය කළු කොටියාට නැවත ජීවිතයක් උදාකරන්නට දැන් සියලු පිඹුරුපත් සකසා අවසානය. තවත් දින කිහිපයකින් සීතල නල්ලතන්නිය වෙනුවට කළු කොටියා ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන කුටියකදි දැකගත හැකිවෙනු ඇත.
සඳරැසි සුදුසිංහ