කොරෝනා අස්සේ රජරටට ලිෂ්මනයිසිස්
19 December 2020
කොරෝනා අස්සේ රජරටට ලිෂ්මනයිසිස්
19 December 2020
පසුගිය කාලයේ ලංකාවේ ජනතාව මීඋණ රෝගයෙන් බැට කෑවෝය. ඩෙංගු වසංගතයෙන් බැට කෑවෝය, ඌරු උණ, කුකුල් උණ ආදී නොයෙක් වසංගතවලින් බැට කෑවෝය. මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය රටම අකර්මණ්‍ය කර ඇත්තේය.
[caption id="attachment_118715" align="alignleft" width="300"] වැලි මැස්සා[/caption]
මේ අතරේ රජරටින් තවත් අලුත්ම බෝවන රෝගයක් ගැන පසුගියදා අසන්නට ලැබුණේය. වැලිමැස්සා නමැති කෘමියෙකුගෙන් බෝවෙන මෙම රෝගය නම්කර ඇත්තේ ලිෂ්මනයිසිස් රෝගය හැටියටය.
අනුරාධපුරයේ පදවිය, නාච්චාදූව, තලාව, තඹුත්තේගම, නොච්චියාගම, ඉපලෝගම ආදී ප්‍රදේශවල මෙම රෝගය බහුලව දක්නට ලැබේ.
මෙතෙක් එතරම්ම කතා බහට ලක්නොවූවද මිනිසාට හානිකර බෝවන රෝග අතරින් මේ කියන ලිෂ්මනයිසිස් රෝගය නව වැනි තැනට වැටෙන බවද පසුගිය දිනවල සෞඛ්‍ය අංශ සඳහන් කර තිබිණි.
මේ වන විට මෙම ලිෂ්මනයිසිස් රෝගය ලොව පුරා රටවල් අසූ අටක පැතිරී ඇති අතර මේ වන විට ලෝක ජනගහනයෙන් මිලියන දොළහකට එය වැලඳී තිබේ. එසේම සෑම වසරකටම ලිෂ්මනයිසිස් රෝගීන් අතර අලුතින් රෝගීන් මිලියන දෙකක් පමණ එකතුවන බවත් මෙම ලිෂ්මනයිසිස් රෝගය නිසා වසරකට හතළිස් දහසක් පමණ දෙනා මියයන බවත් මේ පිළිබඳ වාර්තා සඳහන් කරයි.
වැලි මැස්සාගෙන් (Sand fly) බෝවන ලිෂ්මනයිසිස් ප්‍රභේද තුනකි. ඒ චර්මගත ලිෂ්මනයිසිස්, චර්ම ශ්ලේෂ්මල පටලගත ලිෂ්මනයිසිස් හා අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදිත ලිෂ්මනයිසිස් වශයෙනි. මෙකී ප්‍රභේද තුනම පසුගිය කාලයේදී මෙරටින් වාර්තාවී තිබේ. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ තත්ත්වය වඩාත් උග්‍ර බව අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මේ අතරින් වැඩිපුරම වාර්තා වන්නේ චර්මගත ලිෂ්මනයිසිස් ආසාදිත වූ රෝගීන්ය. එසේම සෙසු ප්‍රභේද දෙක ආසාදිත වූ රෝගීන්ද සුළු වශයෙන් හමු වූ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
[caption id="attachment_118716" align="alignleft" width="278"] ආරම්භක ගැටිති[/caption]
මිනිස් සිරුරේ සම මතුපිට ඉස්සුණ රතු පැහැති ගැටිති ලිෂ්මනයිසිස් රෝගයේ මූලික රෝග ලක්ෂණයි. කාලයත් සමග මෙම ගැටිත්ත සම සිදුරුකොට තුවාලයක් බවට පත්වෙයි. ශරීරයේ නිරාවරණය වූ ස්ථානවල මෙම ගැටිති හෝ තුවාල දැකිය හැකි අතර මෙහි විශේෂත්වය මෙම ගැටිතිවල වේදනාවක් හෝ කැසීමක් ඇති නොවීමයි. එහෙත් පසුව උණ, හිසරදය, උදරයේ අපහසුව හා උදරය ඉදිමීම, වමනය, නාසයෙන් රුධිරය ගැලීම, බර අඩුවීම තෙහෙටුව ආදී රෝග ලක්ෂණ දැකගත හැකිවේ.
රෝගය බෝකරන වැලි මැස්සා දිගින් මිලිමීටර් දෙකක් තුනක් පමණ දිගින් යුතු අතර රෝගය බෝ කරන්නේ ගැහැනු සතාය. මෙම ගැහැනු සතා සිය බිත්තර පරිණත කර ගැනීම සඳහා මිනිස් සිරුරේ ලේ උරා බොන්නීය. රාත්‍රි කාලයේ ක්‍රියාකාරි වන මෙම මැස්සියගේ විශේෂත්වය වන්නේ ශබ්ද රහිතව පියාසර කරමින් දෂ්ට කිරීමයි. වර්ග තිහකින් පමණ යුත් වැලි මැස්සන් බෝවීමට වියළි කාලගුණයක් යුත් තෙත පරිසරයක බවද පරීක්ෂණවලදී හෙළිවී තිබේ. එසේම මෙම වැලි මැස්සාගෙන් මිනිසාට අමතරව බල්ලා, බළලා, මීයා වැනි කෂේරුකා සහිත සත්ත්වයන්ටද ලිෂ්මනයිසිස් රෝගය වැලඳෙන බවද හෙළිවී තිබේ.
මෙම ලිෂ්මනයිසිස් රෝගය ලංකාවට මොන ආකාරයට ආවේද යන්න නිෂ්චිත පිළිතුරක් දීමට සෞඛ්‍ය අංශද අසමත්ය. ඒත් ඔවුන් අනුමාන කරන්නේ මෙම රෝගය මැද පෙරදිග රැකියාවලට ගිය පුද්ගලයන්, ඉන්දියාවේ වන්දනාවේ ගිය අයගෙන් මෙන්ම සංචාරකයන්ගෙන්ද මේ රටේ ව්‍යාප්ත වෙන්නට ඇති බවයි. මීට අමතරව රජරට හා හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි වියළි ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සඳහා කැලෑ එළිකිරීම වැනි දේවලින් සහ ජනගහනය වැඩිවීම නිසා කැලෑ ප්‍රදේශවල පදිංචිය සඳහා ජනතාව යොමුවීම ආදී කරුණු නිසා මෙම රෝගය ව්‍යාප්ත වූ බවයි.
කෙසේ වෙතත් ලංකාවේ පළමුවැනි ලිෂ්මනයිසිස් රෝගියා වාර්තා වී ඇත්තේ අද ඊයේ නොවේ. මීට අවුරුදු විසි අටකට ප්‍රථම 1992 වසරේදී අම්බලන්තොට ප්‍රදේශයෙනි. දෙවැනි රෝගය වාර්තා වී ඇත්තේ ඉන් තුන් වසරකට පසුව 1995 වසරේ මහියංගණය ප්‍රදේශයෙනි. අනුරාධපුරයේ පළමු රෝගියා වාර්තා වන්නේ 2006 වසරේදීය. අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වෛද්‍ය තේජන සෝමතිලක කියන හැටියට 2018 වසර වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ලිෂ්මනයිසිස් රෝගයට ගොදුරු වූ හාරසියයක්ද 2019 වසරේදී හාරසිය පනහක්ද හමු වූ බවයි.
මෙම රෝගය පිළිබඳ කතාබහ යළිත් එළියට ආවේ පසුගිය දිනවල අනුරාධපුර ප්‍රදේශයෙන් රෝගීන් හමුවීමත් සමගය. අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසය මෙම ලිෂ්මනයිසිස් රෝග ව්‍යාප්තිය පිළිබඳ අදහස් දක්වමින් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් සෙනෙවිරත්න පැවසුවේ එම පළාතෙන් පමණක් 2016 වසරේදී රෝගීන් විසිහයක්, 2017දී රෝගීන් විසි අටක්, 2018 දී තිස්තුනක්, 2019දී තිහක් හා මේ වසරේදී මේ වන විට දහතුන්දෙනකු හමුවී ඇති බවයි.
2020 වසරේදී රටපුරා හමුවූ ලිෂ්මනයිසිස් රෝගීන් ප්‍රමාණය 250කි. ඒත් වෛද්‍ය තේජන සෝමතිලක කියන්නේ එම සංඛ්‍යාව මෙම රෝගය අඩුවූ බවට තක්සේරුවක් නොවන බවයි. මේ දිනවල රටපුරා පැතිරයන කොවිඩ් වසංගතය තත්ත්වය මත ඒ සඳහා දෙන ප්‍රමුඛතාව මත ලිෂ්මනයිසිස් විමර්ශන කටයුතු මන්දගාමී වී ඇති බවද හෙතෙම පවසයි. කෙසේ වෙතත් ඇළ මාර්ග, කුඹුරු ලඳු කැලෑ ආශ්‍රිත ප්‍රදේශවල ගැවසීම, රෝගය බෝවීමට රුකුලක් වන බවද කපරාරූ නොකළ ගෙවල්, කටු මැටි ගෙවල්, ගොම මැටි ගෑ ගෙබිම, පොල්අතු වහල ආදිය වැලි මැස්සාගේ බෝවීමට ඉවහල් වන බවද වෛද්‍ය තේජන සඳහන් කරයි.
කෙසේ වෙතත්, කැලෑබද ප්‍රදේශවල වාසය නොකිරීම, මුළු ශරීරයම ආවරණය වන සේ ඇඳුම් ඇඳීම රාත්‍රී මෙන්ම දහවල් කාලයේදීත් නිදා ගැනීමේදී මදුරුදැල් භාවිත කිරීම, කෘමීන් පලවා හරින ආලෝප ඇඟ ගැල්වීම ආදියෙන් මෙම රෝගය පාලනය කරගත හැකි බවද සෞඛ්‍ය අංශ පවසයි.
ඒත් කෘෂිකර්මයෙන් ජීවත් වන රජරට මෙන්ම දකුණේ හම්බන්තොට වැනි දුෂ්කර ප්‍රදේශවල ජනතාව කැලෑවට, කුඹුරට, ඇළට දොළට නොයා කුඹුරක් හේනක් නොකොටා රාත්‍රියේ හේනේ, කුඹුරේ පැලට නොයා ඉහත සෞඛ්‍යාරක්ෂිත ක්‍රම කෙසේ අනුගමනය කරන්නද. එසේම වරිච්චි බිත්ති, ගොම මැටි ගෑ ගෙබිම හැර මෙම ප්‍රදේශවල දුප්පත් ජනතාවට සිමෙන්ති දැමූ කපරාරු කළ ගෙවල් දොරවල් සිහින පමණි.
කේ.එම්. එස්. කරුණාරත්න