brand logo
logo

කොරෝනාවෙන් විසිතුරු මාළු කර්මාන්තයටත් පාර වැදිලා

03 November 2020

ශ්‍රී ලංකාවට මේ දිනවල යුරෝපයේ ප්‍රධාන පෙළේ රටවල් කිහිපයකින්ම ලැබී ඇති විසිතුරු මසුන් ඇනවුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවත්, ඒ නිසාම තමන් මහත් අපහසුතාවට පත්ව ඇති බවත් විසිතුරු මසුන් අපනයනකරුවෝ පවසති. කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ සේවකයන් ගෙන්වා ගැනීමට නොහැකිව මෙම ඇනවුම් කඩිනමින් භාරදීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා විසිතුරු මසුන් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ට්‍රිෂාන්ත ඇලෙක්සැන්ඩර් පැවසීය. තම සේවකයන් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට ඇඳිරි නීති බලපත්‍ර ලබා දෙන ලෙස තම සංගමයේ සාමජිකයන් කිහිපවිටකම පොලිසියෙන් ඉල්ලා සිටියත් එම අවසරය නොලැබුණු බවද සභාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාවට විශාල වශයෙන් අපනයන ආදායමක් හිමිකරදෙන විසිතුරු මසුන් කර්මාන්තයට රාජ්‍ය අවධානය නිසි අයුරින් හිමි නොවීම කනගාටුවට කරුණක් බවත්, ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද මෙරට විසිතුරු මසුන්ට විශාල වශයෙන් විදේශ රටවලින් ඉල්ලුමක් ලැබෙන බව ඔහු කියා සිටියේය. මේ දිනවල ඇමරිකාව, ජර්මනිය, එංගලන්තය, කුවේට්, ඕමාන් වැනි රටවල් කිහියකින්ම මෙරට විසිතුරු මසුන් අපනයනය ඇනවුම් ලැබී ඇති බවත්, එම ඇනවුම් සකස් කිරීමට සේවකයන් නොමැතිකමින් විශාල අපහසුතාවකට පත්වෙමින් සිටින බම හෙතෙම පැවසීය. එම රටවලින් ඉතාමත් ඉහළ ඉල්ලුමක් හිමි වී ඇත්තේ ගප්පි, ගෝල්ඩ්ෆිෂ්, කාෆ් වැනි මත්ස්‍යයන්ට වන බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේය. දිවයින පුරා විසිතුරු මසුන් අපනයන කර්මාන්තයේ යෙදී සිටින අපනයනකරුවන් සිටින්නේ පනහකට ආසන්න ප්‍රමාණයක් වන අතර ඔවුන්ට එම මසුන් සපයන්නන් ද ඉතාමත් සීමිත බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. අශිකා ජයවීර
 

More News..