ගජ මදාරා ඔහු මරු තුරුලට ගෙන ගියේය
09 February 2020
ගජ මදාරා ඔහු මරු තුරුලට ගෙන ගියේය
09 February 2020
ගම්පහ මහ රෝහලට ක්ලාන්තය සැදී තිස්හය හැවිරිදි විවාහක පුද්ගලයකු ගිය සතියේ ඇතුළත් කෙරුණේය. මේ රෝගියාගේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ වෛද්‍යවරුන්ගේ මතය වූයේ ඔහුට වසක් විසක් ශරීර ගතවී ඇති බවයි. ඒ නිසාම හැකි ඉක්මනින් ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට ඔවුන් තීරණය කළහ. දවස් හයක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු පසුගිය තුන් වැනිදා අලුයම මියගියේය. ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයේදී රෝගියාගේ මව කීවේ තමන්ගේ පුතු ශරීර ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා විවිධ කොළ වර්ගවල යුෂ පානය කරන බවයි. මරණ පරීක්ෂණයේදී හෙළිවූ ආකාරයට මෙම තරුණයා ‘‘සිරුර වර්ධනයට සහ ස්නායු වර්ධනයට ගුණ යැයි” මුහුණු පොතේ දමා තිබු පෝස්ටුවක් දැක කොළ වර්ගයක් කොටා පානය කර තිබේ. ශාකයේ නම වූයේ ‘‘ගජ මදාරා”ය.
මෙම ශාකය ලංකාවේ දී සොයා ගැනීමට නොහැකි දුර්ලබ ගණයේ ශාකයක් බවත් ඔහු තම මවට කිවේය. නමුත්, කෙතරම් දුර්ලබ ශාකයක් වුවත් පසුදිනම එය සොයා ගැනීමට ඔහුට හැකිවිය.‘‘ගජ මදාරා” ශාකයේ යුෂ කෝප්පයකට දමා එයින් භාගයක්ම පානය කර ඉතිරිය ශීතකරණයේ තබා පසුදින පානය කිරීමට ඔහුගේ අදහස විය. නමුත්, අවසානයේදී සිදුවූයේ සිරුර වර්ධනය කිරීමට යැයි පානය කළ ඔසුව ඔහුගේ මාරයා බවට පත්වීමයි. ගජ මදාරා ගහ රටුන් අතරේ නිතර ඇසෙන නමක් නොවේ. පුරාණ කතාවලට අනුව මේ ගජ මදාරා ශාකය දෙවියන් විසින් දෙව්ලොව සිට මෙහි ගෙනැවිත් පැළ කරන්නට ඇතැයි සාමාන්‍ය ජනයා විශ්වාස කරති. තොටගමුවේ ශ්‍රී රහුල හිමියන් විසින් ලියූ සැළලිහිණි සංදේශයේද මදාරා ශාකයේ මල් පිළිබඳව සඳහන්ව තිබුණි. ඒ සැළලිහිණි සංදේශයේ විසිපස් වැනි කවියෙනි.
‘‘සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැඳි මුනි සිරි පා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගිර නැගෙනහිර” යනුවෙනි. මදාරා ගස් ගැන සංදේශ කවි, ගීත ඇතුළු පොත්වල තිබුණද එම ගස් ලංකාවේ දක්නට ඇත්තේ දෙතුන් තැනක විතරය.
අඹේපුස්ස බෝතලේ වලව්ව ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෙද විදුහල, රත්නපුර මාරපන පිරිවෙන, රත්නපුර ජාතික කෞතුකාගාරය, පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය මෙන්ම ගම්පහ ජාතික උද්භිද උද්‍යානය වැනි ස්ථානවල පමණක් ගජ මදාරා ශාක දක්නට ලැබෙනු ඇත. නමුත් අනෙක් මදාරා ශාක ප්‍රබේද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහ නිවෙස් ආශ්‍රිතව විසිතුරු ශාකයක් ලෙස භාවිත කරනු ලබයි.
එපමණක් නොව, මෙම ශාකයට අලි ඇතුන් පවා දැඩි සේ බියක් දක්වන බව පැවසේ. අඹේපුස්ස බෝතලේ වලව්වේ සිටින අලි ඇත්තු ගජ මදාරා ගසට වැඳ නමස්කාර කරන බව සඳහන්ය. ජනප්‍රවාදයන්ට අනුව බුද්ධදාස රජු විසින් නේපාලයෙන් මදාරා ගස් කිහිපයක් ගෙන්වා ලංකාවේ රෝපණය කර ඇත. ඉන්පසුව, එය රාජකීය වස්තුවක් ලෙසත් ආරක්ෂා කල බව ද ඉතිහාසයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම ශාකය ලංකාවේ හා ඉන්දියාවේ පමණක් දක්නට ලැබෙන ශාකයක් බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාපති වෛද්‍ය හිටපු ලේඛකාධිකාරි ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා කීවේය. මෙම ශාකය බහුලව දකින්නට ලැබෙන්නේ දකුණු ඉන්දියාවේදීය. ඒ තමිල්නාඩු ප්‍රාන්තයේදීය.
පොදුවේ ‘‘ගජ මදාරා” ශාකය ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙස දේශීය වෙදකමේදී භාවිතා කරනු ලබයි. නමුත්, ඒ බාහිර ආලේපයන් සඳහාම පමණක් බව වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා කීවේය. ඒ වගේම මදාරා, ගජ මදාරා සහ මල් මදාරා ලෙස විවිධ මදාරා ප්‍රභේදයන් ඇතත් මේවා සියල්ලම හඳුන්වන පොදු උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Cleistanthus collinus ය. මෙය සියයට සියයක්ම විස සහිත ශාකයක් බව දේශීය වෛද්‍ය විද්‍යාවේ සේම උද්භිද විද්‍යාවේද සම්මත පිළිගැනීමයි.
‘‘ගජ මදාරා කියලා කියන්නේ ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක්. ඒවගේම, මේ ශාකයේ මුලේ සිට අතු, මල් සහ ගෙඩි සියල්ලම අධික විස සහිත බවින් යුක්තයි. ඒ නිසා මෙය ඖෂධයක් වශයෙන් ලබා ගන්නේත් තෙල් බෙහෙත් වලට විතරයි. කිසියම් අවස්ථාවක සර්පයකු දෂ්ට කළ විට විසෙන් විස නැසීමට බාහිර ආලේපයක් ලෙසත් භාවිතා කරනවා. නමුත්, ගජ මදාරා හෝ ඕනෑම මදාරා ශාකයක පත්‍රයක් හෝ දෙකක් ආහාරයට ගත් විට අනිවාර්යයෙන්ම දැඩි සේ රෝගී වී මරණයට පත් වෙන්නත් පුළුවන්.”
වෛද්‍ය ඩැනිස්ටර් පවසන ආකාරයට නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙවැනි විස ශාක ඖෂධ නිපදවීමට යොදා ගන්නෙත් විස නසාය. නමුත්, මදාරා කොළ යුෂ පානයෙන් සියලුම ස්නායු ගත රෝග සමනය කළ හැකි බව විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවත් ඒවා සියල්ලම අසත්‍ය බව ඔහු කිවේය.
නමුත්, මුහුණු පොත යොදා ගනිමින් විවිධ පුද්ගලයන් ගජ මදාරා හි පැළ භූමිවලට තේජස, භාග්‍යය හා දියුණුව ලැබෙන බව පවසමින් අලෙවි කරනු ලබයි. ඒ ලෙස ගජ මදාරා හි පැළයක් රුපියල් පන්සියයක් වැනි මුදලකට අලෙවි කරන පුද්ගලයන් අද වනවිට සමාජ මාධ්‍ය පුරාම දක්නට ලැබේ. එපමණක් නොව මෙම පැළ තවාන්කරුවන් විසින් අද වනවිට මෙය ජාවාරමක් ලෙස සිදු කරගෙන යමින් සිටින බව වෛද්‍ය ඩැනිස්ටර් කීවේය.
‘‘ගජ මදාරාවල වෙනස් ප්‍රතිඵල තියෙනවා කියලා බොහෝ පුද්ගලයෝ මේවා විකුණනවා මම දැකලා තියනවා. ඔවුන් තමයි සමාජ මාධ්‍ය යොදා ගෙන හොර ආයුර්වේද වෛද්‍යවරු විදිහට පෙනී ඉඳලා මිනිස්සුන්ව රවට්ටන්නේ. ගුණයක් නැති ශාක ගුණයි කියනවා. විස ශාක විස නැහැයි කියනවා. අන්තිමට වෙන්නේ අසරණ මිනිස්සු මේවා බීලා මැරිලා යන එකයි. එනිසා අපි කියන්න ඕනේ ගජ මදාරා වගේ උග්‍ර විස සහිත ශාක ආහාරයට ගන්න කලින් පිළිගත් වෛද්‍යවරයෙක්ගෙන් මේ පිළිබඳව දැනුවත් වෙන්න කියලා. ”
හර්ෂණී දිසානායක