brand logo
logo

ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම ගැන තවමත් හිතනවා

09 February 2021

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නොමැති බවත්, ඒ පිළිබඳ තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවත් වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ඊයේ (8 වැනිදා) ‘අරුණ’ වෙත කියා සිටියේය. සිය ෆේස්බුක් ගිණුමේ ‘මේක අමාරුයි. ඒත් කවදාහරි මේ තීරණය ගන්න වෙනවා. මට වචන නැහැ කියන්න. ඔයාලා හැමෝටම ආදරෙයි. මගේ ඇඟට තාම පුලුවන්. මගේ හිත තාම කියනවා ක්‍රීඩා කරගෙන යන්න කියලා. හැබැයි මේක තමයි අවස්ථාව සමුගන්න’ යනුවෙන් සඳහන්කර තිබීමත් සමග ධම්මික ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී තිබුණි. මේ සම්බන්ධයෙන් ‘අරුණ’ වෙත වැඩිදුරටත් අදහස් දැක් වූ ධම්මික ප්‍රසාද් ‘ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එකක් නිසා මම ක්‍රිකට් වලින් සමුඅරන් කියලා සමාජ මාධ්‍ය වල පළ වුණා. තාම එහෙම තීරණයක් අරන් නැහැ. ඒ ගැන පවුලේ අය සහ ක්‍රිකට් ගහන යාළුවෝ එක්ක මම කතා කළා ඔවුන් කිව්වේ ක්‍රිකට් ආයතනය එක්ක කතා කරලා තීරණයක් ගන්න කියලා. ක්‍රිකට් ආයතනය එක්ක කතා කරලා මම තීරණයක් ගන්නවා’ යි කියා සිටියේය. 37 හැවිරිදි ධම්මික ප්‍රසාද් ශල්‍යකර්ම තුනකට මුහුණ දී ඉන් පසුව නැවතත් ක්‍රිකට් පිටියට අවතීරණ වූයේය. එහිදී නැවත වරක් සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට ඔහුට හැකි වූ අතර එල්.පී.එල්. තරගාවලියේ කළම්බු කිංග්ස් කණ්ඩායමෙන් ඔහුට අවස්ථාව හිමි විය. මේ වන විට ටෙස්ට් තරග 25කට සහ එක්දින තරග 24කට ක්‍රීඩා කර තිබෙන ප්‍රසාද් එහිදී පිළිවෙලින් කඩුලු 75ක් සහ 32ක් වශයෙන් බිඳහෙළා ඇත. නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව තවත් වසර තුනක් හෝ හතරක් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලි වලට සහභාගි වන බැව් පවසන ප්‍රසාද් ‘අවුරුදු 20ක් විතර එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තදාක පහළ ඩිවිෂන් එකක අවුරුදු තුනක් හෝ හතරක් ක්‍රිකට් ගහනවා. ඒකෙන් මගේ අත්දැකීම් අලුත් ක්‍රීඩකයින්ට දෙන්න බලාපොරොත්තු වෙනවා’ යි කියා සිටියේය. ගයාශාන් විතානආරච්චි
 

More News..