brand logo
Vote For Us

නාලන්දේ විදුහල්පති ධුරයට රිච්මන්ඩ් විදුහල්පති පත්කිරීම ගැන මතභේදයක්

28 July 2021

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විදුහල්පති තිලක් වස්තුහේවා කොළඹ නාලන්ද විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ. නාලන්ද විදුහලට විදුහල්පතිවරයකු පත්කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ දී තිලක් වස්තුහේවා ලකුණු ලබා ඇත්තේ දෙවැනි තැනට ය. වැඩිම ලකුණු ලැබූ විදුහල්පතිවරයා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට සුදුසුකම් ලැබීම නිසා ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරකට පත්ව සිටියි. මේ නිසා දෙවැනි ස්ථානයට ලකුණු ලැබූ තිලක් වස්තුහේවා නාලන්ද විදුහලට පත් කළ බවත් ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවැසීය. මෙම පත් කිරීම නීති විරෝධී බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට පැවැසීය. සම්මුඛ පරීක්ෂණයේ දී දෙවැනි ස්ථානයට ලකුණු ලබන තැනැත්තා අදාළ විදුහලට පත් කරන්නේ නම් ඒ බව පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් විය යුතු බවත් එවැනි නිර්දේශයක් එම ගැසට් නිවේදනයේ සඳහන්ව නොමැති බවත් ඔහු කීවේය. මෙම නීති විරෝධී කටයුත්තට එරෙහිව නඩුවක් ගොනු කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. නිලන්ත මදුරාවල
 

More News..