roadBlockMobile
brand logo
logo

බූස්සේ STF 100කට ස්ථාන මාරු

15 March 2022

බූස්සේ ගැටුම ගැන විමර්ශන

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටින හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ නිලධාරීන් හට සන්නද්ධව පහරදී ගැටුමක් ඇතිකර ගැනීමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සියදෙනකු ස්ථාන මාරුකර යවා තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය මත විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විශේෂ කාර්ය බළකා ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර කීවේය. මෙම ගැටුමට මුල්වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීයා රාජාකාරි මුරය අවසන් කර සිටි අයකු බවත් බන්ධනාගාරයට මත්පැන් ගෙන යාමට උත්සහා කිරීමෙන් එම නිලධාරියා වරදක් සිදුකර තිබෙන බවත් මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ බීමත් කණ්ඩායමක් හා බන්ධනාගාරයේ ආරක්ෂාවට අලුතින් බඳවා ගත් හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ නිලධාරීන් පිරිසක් අතර ගැටුමක් සිදුව තිබුණේ පසුගිය 11 වැනිදා රාත්‍රියේදීය. පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි මුරය අවසන් කළ නිලධාරියකු මත්පැන් බෝතල් දෙකක් රැගෙන බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට ඇතුළු වීමට යාමේදී බන්ධනාගාර උපක්‍රමික බළකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසු සන්නද්ධව පැමිණි විශේෂ කාර්ය බළකායේ බීමත් කණ්ඩායමක් උපක්‍රමික බළකායේ නිලධාරීන් හට පහරදීමත් සමග මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති විණි. මෙම සිද්ධියට අදාළව බන්ධනගාර දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසීය. බන්ධනාගාර මූලස්ථානයේ ඊයේ (14 වැනිදා) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කු මෙහි පරීක්ෂණ ප්‍රධානියා ලෙස පත්කර තිබෙන බවය. එෆ්. අස්ලම්
 

More News..