brand logo
logo

රසායනික පොහොරට වඩා කාබනික පොහොර ගෙන්වීම භයානක කරුණක්

02 June 2021

‘‘අපේ පොහොර අපිම හදමු’’ තේමාව යටතේ කුඹුරු ගොවිතැනට ගොඩභෝග ගොවිතැන සඳහා කොම්පෝස්ට් පොහොර තමන් විසින්ම නිපදවා ගැනීම සඳහා ව්‍යාපෘතියක් හඳුන්වා දීමට එප්පාවල පොස්පේට් ආයතනය, මහවැලි අධිකාරිය සහ ජාතික ගොවි සම්මේලනයේ සභාපති පූජ්‍ය මහමාන්කඩවල පියරතන (පොස්පේට් හාමුදුරුවෝ) නාහිමියන් කටයුතු අරඹා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, කාබනික පොහොර ප්‍රමාණවත් තරමට රට තුළ නොමැති නම් පිටරටින් ආනයනය කිරීමටත් පසුගියදා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එහෙත් මේ වන විට රට තුළම සියලුම ගොවිතැන්වලට අවශ්‍ය ප්‍රමාණයට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීමට හැකි බවත්, පිටරටින් රසායනික පොහොර ගෙන්වීමටත් වඩා කාබනික පොහොර ගෙන්වීම ඉතා භයානක කරුණක් බවත්, එමගින් අපේ රටේ පසට හානි විය හැකි බව ජාතික ගොවි සම්මේලනයේ සභාපති උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ද්විතීයික සංඝනායක එප්පාවල ඛෙත්තාරාමාධිපති මහමාන්කඩවල පියරතන නාහිමියෝ ප්‍රකාශ කරති. 2015 වර්ෂයේ සිට මේ දක්වා උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානයට යාබද කුඹුරේ මේ වන විට කාබනික පොහොර යොදා ගොවිතැන් කටයුතු සිදු කරමින් මුළුමහත් සමාජයටම යහපත් වැඩදායී කාර්යයක් ඉටු කරමින් සිටිති. උන්වහන්සේ විසින් මෙවර කන්නය සඳහා ද මඩතවාලු, කළු හීනටි, පච්චපෙරුමාල් ඇතුළු දේශීය සහල් 100% ක් දේශීය තාක්ෂණික ඥානය උපයෝගී කර ගනිමින් සමස්ත සමාජයට කාබනික පොහොර භාවිතයට නැඹුරුවන ලෙස පෙන්වා දෙමින් සිටිති. එසේම කුඹුරු ගොවිතැනට අමතරව කුඹුරට යාබදව ඇති කුඩා ඉඩම් කොටසේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරයක් ද ආරම්භ කර ඇත. එමගින් කුඹුරට අවශ්‍ය පොහොර උන්වහන්සේ පන්සලේම නිපදවා ගනිති. මේ පිළිබඳ අවධානය යොමු කළ එප්පාවල ලංකා පොස්පේට් රාජ්‍ය සමාගමේ සභාපති අනිල් රණසිංහ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඩබ්ලිව්. එම්. සුගත් වීරසිංහ යන නායක ස්වාමීන් වහන්සේ සමග එක්ව මහවැලි එච් කලාපයටම අවශ්‍ය කරනු ලබන පොහොර නිෂ්පාදනය කිරීම සඳහා මූලික වැඩසටහන එප්පාවල ඛෙත්තාරාම විහාරස්ථානයෙන් ඉකුත් 31 දා ආරම්භ කර තිබේ. බුද්ධික මහේෂ් - නැගෙනහිර අනුරාධපුරය
 

More News..