brand logo
logo

ලබන වසරේ සිට හැම ගෙදරකටම කහ පැළ 6ක්

26 December 2020

ලබන වසර (2021) මුලදී කහ අස්වනු වෙළෙඳපොළට නිකුත් වීමෙන් පසුවද, අමු කහ මිල ගණන් ඉහළ ගියහොත් අමුකහ සඳහා පාලන මිලක් නියම කිරීම පිළිබඳව වැවිලි අමාත්‍යාංශයේ සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. වැවිලි ඇමැති රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් අතර කොළඹ දී පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු වී තිබේ. මේ වනවිට අමුකහ කිලෝග්‍රෑමයක් රුපියල් 600ත් 700ත් අතර මුදලකට අලෙවි කෙරෙන අතර, ජනවාරි මාසයේ දී අමුකහ අස්වනු වෙළෙඳපොළට ලැබීමෙන් පසු කිලෝග්‍රෑමයක මිල රුපියල් 250ක්, 300ක් දක්වා අඩුවියයුතු බවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කීවේය. ජනවාරි මාසයේදීද අමුකහ කිලෝග්‍රෑමය රුපියල් 600 ඉක්මවා ගියහොත් පාලන මිලක් නියම කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වියළි කහ කිලෝග්‍රෑමයක් සකස් කරගැනීම සඳහා අමුකහ කිලෝග්‍රෑම් 06ක් අවශ්‍ය වේ. ලබන වසරේ (2021) සිට සෑම නිවසකටම කහ පැළ හයක් ලබා දීමටද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබේ. දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී තිබෙන පැළ තවාන් මගින් එක් කහ පැළයක් රුපියල් 20 බැගින් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. සාලිය කුමාර ගුණසේකර
 

More News..