brand logo
logo

ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා රෝගීන් ඉහළට

03 August 2021

ශ්‍රී ලංකාවේ පසුගිය වසර විස්ස ඇතුළත මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව නව ගුණයකින් වැඩිවී ඇතැයි ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි. පුවක් සැපීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව එම ඒකකය කියා සිටී.

සියලුම සපන පුවක් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිකා කාරක වන බැවින් එම නිෂ්පාදන භාවිතය ආරම්භ කිරීමෙන් වළකින ලෙසත්, පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිත කර ඇත්නම් හෝ දැනටමත් භාවිත කරන්නේ නම් නොපමාව වෛද්‍යවරයකු ලවා සායනික මුඛ පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් ජාතික පිළිකා මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී. 2019 වර්ෂයේදී නව මුඛ පිළිකා රෝගීන් 2700 ක් පමණ වාර්තා වී ඇත. දිනකට මුඛ පිළිකා ආශ්‍රිත මරණ දෙකක්, තුනක් පමණ සිදුවන අතර මෙය මරණ අනුපාතිකය වැඩි පිළිකා වර්ගයක් ලෙස හැඳින්විය හැකි බව පිළිකා මර්දන ඒකකය පවසයි. මුඛ පිළිකා පිරිමි පුද්ගලයන් අතර බහුල වන බවත්, කාන්තාවන් අතර බහුලතම පිළිකාවන් 10 අතරට එය අයත් වන බව මෙම ඒකකය පවසා සිටී. දැනට වාර්තාවී ඇති රෝගීන්ගෙන් සියයට 60 ක් පමණ පසු අවධියේ (3 හා 4 අවධිවල) පසුවන අතර අවසන් අවධියේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසුව ජීවත්වීමේ හැකියාව අඩුවන බව ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වා දෙයි. මුල් අවධියේ හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර කිරීම මගින් රෝගය උත්සන්න වීම වළක්වා ගත හැකි බැවින් මුල් අවස්ථාවේම ප්‍රතිකාරවලට යොමුවන ලෙස මෙම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී. අශිකා ජයවීර
 

More News..