සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ අපජලය කුඹුරු යායකට හරවලා
25 January 2021
සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ අපජලය කුඹුරු යායකට හරවලා
25 January 2021
මිහින්තල නගරයේ සිවිල් ආරක්ෂක බළකා මූලස්ථාන කඳවුර් භට නිවස්නයෙන් මුදාහරින මළ අපද්‍රව්‍ය සහිත අපජලය අසල පිහිටි කුඹුරු යායට එක්වීමෙන් ගොවීන් හතළිහකට අධික පිරිසක් දැඩි සෞඛ්‍ය ගැටලුවලට මුහුණදී ඇති බව ගොවීහු පිරිසක් ඊයේ (24 වැනිදා) ප්‍රකාශ කළහ.
යාපනය ඒ -9 ප්‍රධාන මාර්ගයේ පිහිටි සිවිල් ආරක්ෂක බළකා මූලස්ථාන කඳවුරේ භට නිවස්නයෙන් දිනපතා අපද්‍රව්‍ය සහිත ජලය මුදාහැරීමෙන් කුඹුරු ගොවීන්ට කුඹුරු වැඩ සඳහා බැසීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
භට නිවස්නයේ නේවාසික සිවිල් ආරක්ෂක සෙබළ සෙබළියන් ස්නානය කරන ජලය, ඇඳුම් පැලඳුම් සෝදන ජලය, ඉඳුල් සහිත ජලය සහ මළ අපද්‍රව්‍ය කොටස් සහිත අධික දුර්ගන්ධයක් සහිත අපජලය කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් උපයෝගී කර නොගනමින් ඔවුන් පරිසරයට බැහැර කරන ආකාරය එහි ගිය අපට දැකගත හැකි විය.
භට නිවස්නය ආසන්නයේම පිහිටි කුඹුරු ඉඩමට සෙබළුන් මාස ගණනාවක සිට හිස් මත්පැන් බෝතල් ඇතුළු දිරා නොයන ද්‍රව්‍ය තොග පිටින් විසිකර තිබෙන අයුරුද දැකගත හැකිවිය. මිහින්තලය වැවේ ජලයෙන් කුඹුරු අක්කර 60ක පමණ ප්‍රමාණයක් අස්වද්දන අතර එම ජලය ප්‍රවාහනය කරනා ඇළ මාර්ගයට විෂ සහිත අපද්‍රව්‍ය සෘජුවම මුදාහැර තිබේ.
මේ හේතුවෙන් ගොවීන් පත්ව සිටින අපහසුතාව සම්බන්ධයෙන් ගොවියකු සිය අදහස් මෙසේ පළ කළේය.
‘‘සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ භට නිවස්නයේ සිටින සෙබළ සෙබළියන් මුදාහරින සියලුම අපද්‍රව්‍ය එන්නේ අපේ කුඹුරු අක්කර හැටක භූමියට. පුදුම දුර්ගන්ධයක් තියෙන්නේ. මළ අපද්‍රව්‍ය කොටසුත් ඇතැම් වෙලාවට එනවා. කුඹුරට බැහැපු මගේ කකුල් විනාඩි දහයක් ඇතුළත පුපුරලා ගියා. තාමත් මම බෙහෙත් කරනවා. ගොවීන් හතළිස් දෙනකු පමණ මේ අපජලය නිසා පීඩාවට පත්වෙලා ඉන්නේ.
මගේ කුඹුරට වතුර ගහන ළිඳටත් අපජලය මිශ්‍රවෙලා තිබුණා. මගේ කුඹුරු ඉඩමට වීදුරු බෝතල්, වීදුරු කටු, රේසර් ඇතුළු අපද්‍රව්‍ය වීසිකරනවා.
මත්පැන් බෝතල් බිඳලා විසිකරපු කටු පොහොර උර තුනක් එකතු කරලා කඳවුරේ නිලධාරින්ට පෙන්නුවා කරන අපරාදේ ගැන. ආපහු වෙන්න දෙන්නෑ කිවුවට සින්නක්කර ඔප්පු තියෙන අපේ ඉඩම් විනාශයි. මේ පිළිබඳව දැන්වූවාම තව දවස් කිහිපයක් දෙන්න කියනවා. අපි කොහොමද මේ විදියට රස්සාව කර ගන්නේ යනුවෙන් ඒ මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් කඳවුර භාර අණදෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් කන්දේගෙදරගෙන් දුරකථනයෙන් අරුණ පුවත්පක කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ, අපි මළ අපද්‍රව්‍ය මුදාහරින්නෑ. ඒවා ගලි මගින් ඉවත් කරනවා. මේ දවස්වල නිදහස් දිනය වෙනුවෙන් සෙබළුන් පිරිසක් පුහුණුව ලබනවා ඒකයි ඔය ප්‍රශ්නය. මම ගොවීන්ටත් කිව්වා මට 28දා වෙනකම් කල් ලබාදෙන්න කියලා. මම කඩිනමින් ඊට පියවර ගන්නවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.
බුද්ධික මහේෂ් - අනුරාධපුර (නැගෙනහිර)