brand logo
logo

සුළි කුණාටුවෙන් ලංකාවට වන බලපෑම ගැන නිවේදනයක්

25 November 2020

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ (24) රාත්‍රී 11.30 වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එය ඉදිරි පැය 24ක කාලය තුළ ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි. 60-80 පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල පැ.කි.මි. 40-50 පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකිය. උතුරු, උතුරු-මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල අහස වලාකුළු වලින් බරව පවතිනු ඇත. උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..