හත්මාසයකින් නොකෑවා වගේ පීසා කන්න මහ රෑ මහ පාරේ
25 September 2021
හත්මාසයකින් නොකෑවා වගේ පීසා කන්න මහ රෑ මහ පාරේ
25 September 2021
ඇඳිරි නීතිය කඩමින් KFC අවන්හල් සොයා ඇවිත්
පීසා හල් ඉදිරිපස පෝලිමේ ඉන්න කුඩාරම් ගසති
ඉල්ලුමට සැපයුම දෙන්න බැරිව කඩ වේලාසනින් වැසේ
සෙනග පාලනය කරන්න පොලිසියත් කැඳවයි
කොරෝනා වසංගතයෙන් ගැලවී දින 150කට අධික කාලයක් සැනසිල්ලේ කල්ගත කළ නවසීලන්ත වැසියන් මීළඟට ආ කොරෝනා රැල්ලට හසුවී නිවාස අඩස්සියට පත්ව සති පහක් ගතවිය. මේ කාලය පුරාම ව්‍යායාමයට හැර එළියට නොබැස නිවාසවලටම සීමාවී කල් ගෙවීමට ඕක්ලන්ඩ් වැසියෝ වගබලා ගත්හ. ගෙවුණු සතියේ අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඕක්ලන්ඩ් ලෙවල් 3 තත්ත්වයට පත්කෙරෙන බව රජය මගින් ප්‍රකාශයට පත්කිරීමත් සමග ඔවුන්ගේ වැඩිදෙනකුගේ මුහුණු සිනාවෙන් බැබළෙන්නට විය. ලෙවල් 3 ප්‍රකාශයට පත්වීමත් සමග ආපන ශාලාවලට ආහාර අලෙවි කිරීමට අවසර ලැබීම නිසාය. නවසීලන්තයේ විශාලතම නගරයේ වැසියන්ගෙන් වැඩි දෙනකු ඒ ලද නිදහස සමරන්න ලකලැහැස්තිවූයේ හත්මාසයක් කෑම නොකා සිටි අයමෙනි. මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, පීසාහට්, ඩොමිනෝ, කාල්ස් ජූනියර්, ටැකෝ බෙල්, බර්ගර් කිංග් හා කෝපි අලෙවිහල් මෙන්ම මෙරටේ ප්‍රසිද්ධ සියලුම ආහාරපාන අලෙවිහල්වලට පාරිභෝගිකයන් ඇතුළට වැද්ද නොගෙන රැගෙන යන ආහාර පාන අලෙවියට පමණක් ලෙවල් 3 යටතේ අවසර ලැබේ. මේ අවසරයත් සමග පසුගිය මාසයක් පුරා පාළුවට ගොස් තිබූ මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, පිසාහට් හා බර්ගර් කිංග් වැනි සුප්‍රසිද්ධ ආපනශාලා සිය සේවකයන් කැඳවමින් අඟහරුවාදා පෙරවරුවේ සිටම වැඩ ආරම්භ කර තිබෙනු දක්නට ලැබිණ. විශාල ආපනශාලා සිය සේවකයන් සේවා මුර ක්‍රමයට සේවයේ යොදවා තිබුණේ රටේ සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව යමිනි. නවසීලන්තය ඇතුළු බොහෝ රටවල ඇති බොහොමයක් ක්ෂණික ආහාර සපයන ආපනශාලා අයත්වනුයේ ඇමෙරිකානු ලෝක ප්‍රසිද්ධ ආහාරපාන ජාලයන්ටය. මේ සුපිරි ආපනශාලා ඇතුළත අඟහරුවාදා මධ්‍යම රාත්‍රි දොළහටත් සේවයකයන් යුහුසුලු වෙමින් ආහාරපාන සැකසීමේ නිරත වූයේ ඕක්ලන්ඩ් නුවරුන්ගේ තරම දන්නා නිසා විය හැකිය.සාමාන්‍යයෙන් මැක්ඩොනල්ඩ් ආපනශාලා පැය 24 විවෘතව තැබේ. පළාතෙන් පළාත අනුව ඇතැම් ඒවා විවෘත කෙරෙනුයේ උදෑසන 5.30ටය. කේඑෆ්සී විවෘත කෙරෙනුයේ උදේ 10 සිට රාත්‍රී 10 දක්වාය. මෙවර ලෙවල් 3 ප්‍රකාශයට පත්වීමත් සමග මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී හා පීසා හට් ආපනශාලා ඉදිරිපස ඇතැමුන් පෙළ ගැසෙන්නට වූයේ මහ රෑ සිටය. සීත කාලය ගෙවී වසන්තය උදාවෙමින් පැවතියත් මේ රටේ රාත්‍රියට තවමත් තරමක සීතලක් පවතී.මේ සියලුම ආපනශාලාවල වාහනයේ සිටිමින් එක් කවුළුවකින් ඇණවුම්කර වාහනයෙන්ම ගොස් මීළඟ කවුළුවෙන් මිල ගෙවා අවසාන කවුළුවෙන් ආහාරපාන ගැනීමේ ( Drive Through ) පහසුකම් ඇත. ඊට අමතරව ඔන්ලයින් ක්‍රමයට ආහාර පාන ඇණවුම් කර විශේෂ කවුළුවකින් එම ආහාර ලබා ගැනීමේ පහසුකම් ද සැපයේ. මෙහිදී කිසිම ලෙසකින්වත් පාරිභෝගිකයන් හා සේවකයන් එකිනෙකා හමුවීමක් සිදු නොවේ. එසේම ආහාර පාන මිලදී ගැනීමේදී කාඩ්පත් මගින් පමණක් ගෙවීම් සිදුකළ යුතුය. එනිසා මුදල් අතපත ගෑමක් හා පුද්ගලයන් මුණ ගැසීම් සිදුනොවන බැවින් රෝග ව්‍යාප්තිය පාලනය වේ.
වාහනයෙන්ම ගොස් ආහාර ගන්නා පෝලිම් කිලෝමීටර් ගණන් දිගට ඇදී ගියේ වාහන පාලනයට රථවාහන පොලිසියද කැඳවමිනි. ඉල්ලුමේ තරමට සැපයීම වේගවත් නොවීම නිසා එසේ වාහන පෝලිම් දිගු වෙමින් එක තැන නතර වෙමින් ඉබි ගමනේ ඇදෙද්දී සමහරුන් වාහනවල සිට ගී කියමින් විහිළු තහළු කරගනිමින් 'හුරේ දමන' අන්දමද මාධ්‍ය මගින් විකාශය කෙරිණි.එසේ තිබියදීත් සමහරු මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී හා පීසා හට් ඉදිරියේ පුංචි කූඩාරම් අටවාගෙන රාත්‍රිය ගත කළේ හිරු උදාවත් එක්කම පෝලිමේ මුලට සිටීමේ අවස්ථාව ගැනීමේ අදහසිනි. එවන් අයෙක් සිය කූඩාරම අටවාගෙන සිට ඇත්තේ පපකුරා ප්‍රදේශයේ කේඑෆ්සී අවන්හලක ආහාර ඇණවුම් කරන කවුළුවකට මීටරයක පමණ දුරකිනි. ඇතැම් වාහන පෝලිම් පටන් ගෙන තිබුණේ පෙරදා එනම් රජයේ නිවේදනය දැනුම් දුන් දිනයේ රාත්‍රී අටේ සිටය. තවත් අය වාහනය ඇතුළේම රාත්‍රිය ගතකර තිබිණ.
'' වාහන හැසිරවීමට තබා තිබූ පුවරු ඉවත් කරන්න වුණා උදෙන්ම. අපි දැක්ක විදිහට මුල්ම වාහනය ආවේ පාන්දර පහට. එතැන් සිට දිගටම පෝලිම හැදුණා. ලෙවල් 3 කළ මුල් දිනත් ඊට පසු දෙදිනත් පෝලිම් අඩුවුණේ නෑ'' නවසීලන්තයේ ඩොමිනෝස් සමූහයේ සාමාන්‍යාධිකාරී කැමරන් ටූමි මාධ්‍යයට පවසා තිබුණේ එසේය.
මෙදා වැඩිම ජනතාව පෙළ ගැසුණේ මැක්ඩොනල්ඩ් ආපනශාලා අසලය. බටහිර ඕක්ලන්ඩ් හි එක් මැක්ඩොනල්ඩ් ආපනශාලාවක් ඉදිරිපස අඟහවරුවාදා මධ්‍යම රාත්‍රී වෙද්දී පෙළ ගැසී තිබු වාහන සංඛ්‍යාව 80 ඉක්මවා තිබුණි. එනිසා සේවකයෝ පාන්දර එක වෙද්දී ආහාරපාන අලෙවි කිරීම ආරම්භ කළහ. අනෙකුත් ආපන ශාලා සුපුරුදු වේලාවට විවෘත වෙද්දී ක්‍රමයෙන් වාහන පෝලිම් දිග්ගැස්සෙනු දක්නට ලැබිණ. නවසීලන්තයේ Ubereats සේවාව ද ඉතා ජනප්‍රියය. Ubereats යනු පාරිභෝගිකයා ආපනශාලාවකින් ඇනවුම් කරන ආහාර වාහනයකින් නිවෙසටම ගෙනැවිත් දීමේ සේවාවකි. මේ සඳහා අදාළ ආපනශාලාව Ubereats යටතේ ලියාපදිංචි විය යුතුය. කොවිඩ් ලෙවල් 4 අවස්ථාවේ Ubereats තහනම් වුවත් ලෙවල් 3 වෙද්දී එම සේවාවට ද අවසර ලැබිණි. මෙවර උදේ පාන්දර සිටම විශාල ලෙස Ubereats සඳහා ඇණවුම් ලද බව වාර්තා විය. සාමාන්‍ය දිනකදී Ubereats සේවාවේ යෙදෙන අයකුගේ දිනක ආදායම දළ වශයෙන් ඩොලර් 150 වෙද්දී මෙදින උදේ දහය වෙද්දී ඒ ආදායම ඉක්මවීමට ඇතැම් Ubereats රියැදුරෝ සමත් වූහ. '' මගේ ආපන ශාලාවට අද ලැබුණු ඇණවුම්වලින් වැඩිම ප්‍රමාණයක් ආවේ Ubereats ඇණවුම්. මෙවැනි තැන්වලට පැමිණ ආහාර ඇණවුම් කරනවාට වඩා ගෙදර සිටම ඇණවුම් කිරීමට ගොඩක් පාරිභෝගිකයන් පුරුදුවෙලා ඉන්නවා.'' යැයි පිලිපීන ආහාර සපයන ආපන ශාලාවක හිමිකාරිනියක වන එරිකා සියා පවසන්නීය. Ubereats සේවයේ යෙදෙන්නන් මෙවර මාධ්‍ය හා ප්‍රකාශ කර තිබුණේ රටේ කොවිඩ් ලොක්ඩවුන් ආරම්භවීමට පෙර තිබුණාට වඩා සියයට දහස් ගුණයකින් තම ඇණවුම් වැඩිවූ බවය. ඕක්ලන්ඩ් එක් කලාපයක පමණක් දළ වශයෙන් 300කට අධික Ubereats රියැදුරන් ක්‍රියාත්මක වූ බව වාර්තා විය. මේ තත්ත්වය වඩාත් වාසිදායක වූයේ රියැදුරන්ට ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබීම හා වාහන තදබදය අවම වීමත් ආපනශාලා රැගෙන යන ආහාර ඇණවුම් හා Ubereats සැපයීම් සඳහා පමණක් ක්‍රියාත්මක වීමත් හේතුවෙනි. ආහාර ලබා ගන්නා පෝලිම් මෙතරම් දිගු වෙද්දී තම වාරය එනතුරු ඉවසන ලෙස හා සේවකයන්ට කරුණාවෙන් සලකන ලෙස ආපනශාලා සමූහයන්හි ප්‍රකාශකයෝ මාධ්‍ය හරහා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියහ. සේවකයන්ට සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් පිරිසුදු කිරීමේ කටයුතුවල යෙදීමට සිදුවීම හා නිතර මුඛ හා අත්ආවරණ මාරු කිරීම කරන බැවින් සැපයීමේ ප්‍රමාදයන් සිදුවන බව දැනුවත් කරමිනි.නවසීලන්තයේ ක්ෂණික ආහාර ලබා ගත හැකි ආපනශාලා විවෘත වීමත් සමග වැඩිපුරම අලෙවි වූයේ අර්තාපල්වලින් සාදන hash browns, බැහැර ගෙනගොස් පානය කරන කෝපි, බැදපු කුකුල් මස්, ෆිෂ් ඇන්ඩ් චිප්ස් (බැටරයේ දමා බැදපු මාළු පෙති සමග බැදපු අල තීරු) හා මස්පෙති දැමූ බනිස් වර්ගය. මේ අතරිනුත් ඕක්ලන්ඩ්වාසීන්ගෙන් වැඩිපුරම ඉල්ලුමක් ලැබී තිබුණේ 'බර්ගර්' වර්ගවලටය. මැක්ඩොනල්ඩ්, බර්ගර් බර්ගර්, ටයිගර් බර්ගර් සහ රීබර්ගර් යනාදී නම්වලින් නානාප්‍රකාර බර්ගර් පමණක් අලෙවි කරන ආපනශාලා ලද ඇණවුම් වලින් ඒ බව හෙළිවේ. එක් වර්ගයක පමණක් ආහාර අලෙවි කරන ඇතැම් ආපනශාලා වැඩිවේලාවක් යෑමට පෙර වසා දැමීමට සිදුවූයේ ඔවුන්ගේ ආහාර විකිණී අවසන්වීම නිසාය.
මැක්ඩොනල්ඩ් බනිසයක් කන්නට මහ රෑ සිට පෝලිම්වල ලගිනා, කේඑෆ්සී කුකුළු අණ්ඩක් කන්නට මහපාරේ නිදාගන්නා මේ මිනිසුන් කරන කියන ඇතැම් දේ සැබැවින්ම අපට හිතාගන්නවත් බැරිය. කොවිඩ් නීති කඩකරමින් ඕක්ලන්ඩ් පළාතට ඇතුළු වීමට තැත් කළ වාහනයක් පසුගියදා පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී එහි සිටි දෙදෙනා පවසා ඇත්තේ අපූරු කතාවකි. හැමිල්ටන් පළාතේ සිට ඔවුන් පැමිණියේ කේඑෆ්සී අවන්හලක් සොයාගෙන බවයි. තවත් අවස්ථාවක පොලිසිය මඟහරිමින් හරවා යෑමට උත්සාහ ගත් වාහනයක් පරික්ෂා කිරීමේදී වාහනයේ ඩිකිය පුරා තිබූ කේඑෆ්සී බැදපු කුකුළු මස් පැකට් තොගයක් සමග ඩොලර් ලක්ෂයක මුදල් නෝට්ටු හමුවූ බවයි.ඕක්ලන්ඩ් ලෙවල් 3 තත්ත්වයට පත්වූ දා බැහැර ගෙන යෑමට කෝපි පමණක් අලෙවි කරන ඇතැම් ආපනශාලාවල උදෑසන අට වෙද්දී අලෙවිකර තිබූ කෝපි කෝප්ප ගණන දෙසිය තුන්සිය ගණනකි. නවසීලන්ත ජනතාව බෙහෙවින් කෝපි පානය කරන්නෝය. ඔවුන්ගේ උදෑසන ආහාරවේලට කෝපි කෝප්පයක් අනිවාර්යයෙන්ම එක්කර ගනිති. වැඩිහිටි පරපුර තේ පානය කළත් තරුණ පරපුර ඇබ්බැහිවී සිටිනුයේ කෝපි පානයටය. කළුපාට කෝපිවල සිට ලැටේ, ෆ්ලැට් වයිට්, එස්ප්‍රෙසෝ, හොට් චොක්ලට් යනාදී ලෙසින් විවිධ වර්ගයේ කෝපි පාන ඒ අතර වේ.සුදු ජාතිකයන් මේ කෝපි කෝප්පයට සීනි එක්කර නොගන්නා තරමටම දූපත්වාසී ජනතාව සීනි බහුලව පරිභෝජනය කරති. මේ සියල්ල තමන්ගේ නිවෙස්වලින් ම පිළියෙල කරගත හැකි ආහාර වර්ග වුවත් ඇතැම් නවසීලන්තවාසීන් මේ ලෙසින් ක්ෂණික ආහාර ගැනීමට පොරකෑම අපවැනි ආසියාතික රටවල ජනතාවටනම් පුදුමයකි. මෙහිදී පැවසීමට තවත් යමක් තිබේ. අපරටේද කේඑෆ්සී, පිට්සා හා මැක්ඩොනල්ඩ් වැනි ආපනශාලා බොහොමයකි. ඒවායේ මිල ගණන් සාමාන්‍ය ආපනශාලාවල දේශීය ආහාරපානවලට වඩා මිලෙන්ද අධිකය. අපේ බොහෝ දෙනා මෙවැනි ආහාරපාන සිය දරුවන්ට ලබාදීමට පෙලැඹී සිටිනු දැකිය හැකි අතරම තවත් සමහරකුට එවැනි කෑම සිහිනයක්ම පමණි. අපේ රටේ ද ඇතැම් අය ''ඊයේ අපි කේඑෆ්සී ගියා.'', '' බබාගෙන් බේරෙන්න බෑ අනේ පීසා ඉල්ලලා. අපි බර්ත්ඩේ පාටිය පීසා හට්එකේ ගන්නවා'' යනාදී ලෙසින් පවසනු අපි අනන්තවත් අසා ඇත්තෙමු.