brand logo
logo

ශ්‍රී ලංකාවේ කුඩු ඒජන්ත රිලා රුස්නි’’ තොරතුරු වමාරයි

02 March 2019

ශ්‍රී ලංකාවට එවන හෙරොයින් තොග බෙදාහැරීම හා ඒවායේ මුදල් එක්රැස් කර ඩුබායිවලට යැවීම භාරව සිට ඇත්තේ කුඩු ජාවාරමේ සැඟවුණු මහ මොළකරුවකු බව කියන පානදුරේ කෙසෙල්වත්තේ පදිංචි මොහමඩ් රිලා අහමඩ් රුස්නි නමැත්තා බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කළ දීර්ඝ විමර්ශනයකින් හෙළිවී ඇත. පානදුරේ කෙසෙල්වත්ත යෝනක පාරේ පදිංචි අහමඩ් රුස්නි හා පානදුර සරික්කන්මුල්ල පදිංචි මොහමඩ් අජ්මීර් යන දෙදෙනා ශ්‍රී ලංකාවේ විශාලතම කුඩු තොගය කුඩු කිලෝග්‍රෑම් 294ක් සමග පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය වී ඇත. එම විමර්ශනවලට අනුව පාකිස්තාන්, බංගලිදේශ් ඇෆ්ගනිස්ථාන කුඩු ජාවාරම්කරුවන් ඩුබායි සිට මොහු මෙහෙයවා ඇත. ශ්‍රී ලංකාවේ මීට පෙර අසුවූ විශාලතම කුඩු තොගය වූයේ දෙහිවල කව්ඩානේ බංගලිදේශ ජාතික දෙදෙනකු සමග ඉකුත් දෙසැම්බර් 31 වැනිදා අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 270ය. එම කුඩු තොගය අලුත්ගම සිට දෙහිවලට ගෙන ගොස් දුන්නේ තමා බව අහමඩ් රුස්නි විමර්ශනවලදී පිළිගෙන ඇත. විමර්ශනවලට අනුව 2018 දෙසැම්බර් 05 වැනි මහ මුහුද මැදදී ඇල්ලූ කුඩු කිලෝ 231 ගොඩබිමට පැමිණි පසුව භාරගැනීමට සිට ඇත්තේ අහමඩ් රුස්නිය. දෙසැම්බර් 16 වැනිදා දෙහිවලදී කොටු වූ බංගලිදේශ තරුණිය සන්තකයේ වූ කුඩු කිලෝ තිස් දෙකත් අහමඩ් රුස්නි ගෙන ගොස් දුන් කුඩු බව අනාවරණය වී ඇත. පසුගිය සතියේ අල්ලාගත් හෙරොයින් තොගය කිරුළපනේ අන්නාසි මොරිල් මයිකල් නමැති ඩුබායිහි සැඟවී සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු විසින් එවූ කුඩු තොගයක් බව හෙළිවී ඇත. පාතාල නායක මාකඳුරේ මධුෂ් ඩුබායි සාදයකදී මත්ද්‍රව්‍ය සමග කොටු කරගන්නට අබුඩාබි පොලිසියට ඔත්තුව දී තිබුණේද මෙම අන්නාසි මොරිල්ය. මධුෂ් කොටුකර දීමෙන් පසුව ඩුබායිවලින් එංගලන්තයට ආරක්ෂාව පතා පැනගත් මොරිල් පසුගිය සතිය වන විට ඩුබායිවලට පැමිණ ඇති බවත්, ඔහුට අබුඩාබි පොලිසියේ රැකවරණ ලැබෙන බවත් අනාවරණය විය. පානදුරේදී කොටු වූ අහමඩ් රුස්නි තම සගයා සමග එක් වී ඩුබායිහි සිටින මත්කුඩු මාෆියාවේ නිරත මොරිල් ඇතුළු පාතාල නායකයින් එවන කුඩු තොග වශයෙන් බෙදාහැර මුදල් එක් රැස් කර දෙන ජාවාරම වසර දෙකක සිට කරගෙන ගොස් ඇත. ඔහුව ඩුබායිවලට පැන සැඟවී සිටින පාකිස්තාන බංගලිදේශ හා ඇෆ්ගන් රටවල මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් හා මෙරටින් ඩුබායිවලට පැන කුඩු ජාවාරම් කරන පාතාල නායකයින් සම්බන්ධ කර දෙමින් කුඩු මෙහෙයුම කරගෙන ගොස් ඇත්තේ මස්සිනා වන රහීම් බව හෙළි වී ඇත. හාඩ්වෙයාර් කරන මුවාවෙන් පෙනී සිට ඇති රුස්නි ඩුබායි සිට ලැබෙන තොරතුරු මත පාකිස්තාන දේශ සීමාවලින් මුහුදු මාර්ග ඔස්සේ මිරිස්ස, බේරුවල, අලුත්ගම ඇතුළු දකුණු මුහුදු තීරයට එන කුඩු තොග බෙදාහැරීම රහසිගතවම කරගෙන ගිය අයකු බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අනාවරණය කරයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..