brand logo
මහින්ද, ලසන්ත, දුමින්ද ඉවත් කිරීමට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

මහින්ද, ලසන්ත, දුමින්ද ඉවත් කිරීමට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

24 April 2024 | කේ.එස්. උදයකූමාර

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරු තනතුරු වලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (24) නියෝග කළේය.


තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු විධායක සභාව ගනු ලැබූ තීරණයට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.


මෙම නඩුව ඊයේ විරෝධතා ගොනු කිරීම සඳහා කැඳවනු ලැබූවද විරුද්ධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව විරෝධතා ගොනු කිරීම සඳහා විත්ති පාර්ශ්වයට මැයි මස 08 වන දා දක්වා කල් ලබා දුන් දිසා විනිසුරුවරයා එදින නඩුව යළි කැඳවන ලෙසත් නියෝග කළේය.


අදාළ පැමිණිලි වල වග උත්තරකරුවන් වශයෙන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, වැඩ බලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල , 

උප සභාපතිවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා යන මහත්වරු නම්කරනු ලැබ සිටිති.


කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තමන්ව පක්ෂයේ තනතුරු වලින් නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා අදාළ අමාත්‍යවරු විසින් මෙම පැමිණිල්ල දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

 

More News..