roadBlockMobile
brand logo
logo
සුරා බදු අදායම 12%කින් පහළට

සුරා බදු අදායම 12%කින් පහළට

17 March 2023 | උදයජීව ඒකනායක/ සාලිය කුමාර ගුණසේකර

පසුගිය වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස දෙකේදී සුරාබදු ආදායම 12.2% කින් අඩු වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව 2022 වසරේ මුල් මාස දෙකේදී සුරාබදු ආදායම රුපියල් බිලියන 28.6කි. මෙම වසරේ මුල් මාස දෙකේදී එම ආදායම රුපියල් බිලියන 25.1 දක්වා අඩුවී තිබේ. 


මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට මත්පැන් මත අය කරන බද්ද 20% කින් ඉහළ නැංවීම නිසා මත්පැන් මිල ඉහළ යෑමෙන් පරිභෝජනය අඩුවී ඇත.


මේ නිසා නීත්‍යනුකූල මත්පැන් අලෙවිය පහත වැටීමෙන් සුරාබදු ආදායම අඩුවී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ කියා සිටියේ මේ වසරේ ජනවාරි මාසයේ සුරාබදු ආදායම පසුගිය වසරේ ජනවාරි මාසයට සමානව පැවැතියද, මෙම වසරේ පෙබරවාරි මාසයේදී බදු ආදායමේ යම් අඩුවීමක් පවතින බවයි.


මෙම වසරේදී රුපියල් බිලියන 217ක සුරාබදු ආදායම් ඉලක්කයක් රජය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත්, එම ඉලක්කය සපුරාලීම ගැටලුවක් බව සුරාබදු නිලධාරීහු පවසති.


එනමුත්, අදාළ ඉල්ලක්කය සපුරාගැනීමට උත්සාහා ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.


මේ අතර, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණ වාර්තා වලට අනුව ලංකාවේ නීති විරෝධී මත්පැන් 300% කින් වැඩිවී ඇති බවයි.


මේ අතර, සුරා බද්ද රුපියල් දෙදහසකින් අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව හා මත්පැන් නිෂ්පාදකයින් මුදල් අමාත්‍යාංශයෙන්ද ඉල්ලා තිබේ.

 

More News..