roadBlockMobile
brand logo
logo
අගමැතිනියගේ ඖෂධ කැබිනට් පත්‍රිකාව විසිවෙයි

අගමැතිනියගේ ඖෂධ කැබිනට් පත්‍රිකාව විසිවෙයි

02 October 2024 | උදයජීව ඒකනායක / වරුණි පෙරමුණ

ලබන වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනි හා අගමැතිනි හරිනි අමරසූරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය ප්‍රතික්ෂේප වී ඇත.


ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පෙරේදා (30 වැනිදා) පැවැති අතර මීට කැබිනට් සන්දේශය ඉදිරිපත් කර තිබුණි.


කැබිනට් සන්දේශයේ ඇති අඩුපාඩු කිහිපයක් හේතුවෙන් එය ප්‍රතික්ෂේප වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


ලබන වසර සඳහා අවශ්‍ය ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගෙන් මෙතෙක් ලබාගත් ක්‍රමවේදය වෙනස් කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබිණි.


මෙතෙක් දේශීය නිෂ්පාදනය දසදෙනකුගෙන් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙන් පමණක් ඖෂධ ලබාගත් අතර තවත් දේශීය නිෂ්පාදකයන් ඊට එකතු කිරීම හේතුවෙන් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබිණි.


නව වැඩපිළිවෙළ යටතේ දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීමේදී සියයට අටක මිල අඩු කිරීමක් ද සිදු කර ඇත.


ඉදිරි දෙසතිය තුළදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඉන්පසු දේශීය නිෂ්පාදකයන්ට තොග ඇනවුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.


එහෙත් දේශීය ඖෂධ නිෂ්පාදකයන් ප්‍රකාශ කරන්නේ ඖෂධ නිෂ්පාදනය කර ජනවාරි මාසය වන විට ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුවන බවයි.


 

More News..