brand logo
logo
මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වයි

මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වයි

22 April 2024 | සාලිය කුමාර ගුණසේකර



මෙවර පොසොන් උත්සවය ද රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ කියා සිටියහ.


ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙවර පවත්වනු ලබන්නේ 2332 වැනි වාර්ෂික පොසොන් පින්කම බවත්, රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව මෙවර ද පැවැත්වෙන පොසොන් පින්කම සඳහා ලෝකවාසී සියලුම ජනතාවට ජාති ආගම් භේදයකින් තොරව මූල්‍ය දායකත්වය සහ ශ්‍රම දායකත්වය ලබාදීමට හැකි බවත් උන්වහන්සේ පැවසූහ.


මෙවර මිහින්තලා පොසොන් පින්කම වෙනුවෙන් මූල්‍යාධාර ලංකා බැංකුවේ 90797118 දරණ ගිණුම් අංකයට හෝ හැටන් නැෂනල් බැංකුවේ 010010023463 යන ගිණුම් අංකය ඔස්සේ මිහින්තලා රජමහා විහාර අරමුදලට බැර කළ හැකි බව ද උන්වහන්සේ කියා සිටියහ.


ඉකුත් වසරේ (2023) පැවැති 2331 වැනි වාර්ෂික පොසොන් පින්කම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට රජය නිසියාකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියෝ පිණ්ඩපාතයේ ගොස් මුදල් එකතු කර පොසොන් පින්කම පැවැත්වීමට කටයුතු කළහ.


එමෙන්ම, විදුලි බිල් නොගෙවූ බව පවසමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීමට ද කටයුතු කරන ලදී.


මෙවර පොසොන් උත්සවය සඳහා මිහින්තලේ පූජා භූමියට විදුලි ආලෝකය ලබාදෙන්නේ ද යන්න සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දරගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ මිහින්තලේ පූජා භූමිය, තන්තිරිමලය සහ අටමස්ථානයේ අත්‍යාවශ්‍ය ස්ථානවලට විදුලි බලය ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට ඇස්තමේන්තුවක් ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, ඊට අදාළ මුදල් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.


මෙවර පොසොන් උත්සවයේ පැන් පෙරහර සහ සති පිරිත් දේශනාව ජූනි මස 12 වැනිදා පස්වරු 4 සිට 19 වැනිදා උදෑසන දක්වා පැවැත්වීමට නියමිතය. මිහින්තලා ආලෝක පූජාව ජූනි මස 18 වැනිදා සිට 24 වැනිදා දක්වා පුරා සතියක් පැවැත්වෙන අතර, මිහිඳු මහා පෙරහර ජූනි මස 20 වැනිදා වීථි සංචාරය කෙරේ. හේවිසි ශබ්ද පූජාව ජුනි මස 12 වැනිදා සිට 24 වැනිදා තෙක් පැවැත්වේ.


 

More News..