වරායේ ගල්ගෙඩිත් අතුරුගිරියේ කොස් ගෙඩියත් එකක්මද?
06 January 2025
වරායේ ගල්ගෙඩිත් අතුරුගිරියේ කොස් ගෙඩියත් එකක්මද?
06 January 2025
කියැවීම යනු එකකි. කියවාගැනීම යනු තවෙකකි. කියවන දෙය නිවැරදිව කියවාගැනීමට නොහැකිවීම එක්තරා අයුරක කරුමයකි. මේ කියූ කරුණ සරල උදාහරණයකින් පෙන්වා දිය හැකිය. ඒ වනාහී ඉකුත් සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ‘අරුණ’ පුවත්පතේ පළවූ පුවතක් සම්බන්ධයෙන් දැක්වූ අදහස්ය.
‘ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරේ කොස් විකුණන්න බැහැ - කොළ කැඳ විකිණූ අයටත් අතුරුගිරිය පොලිසියෙන් නඩු දාලා’ යනුවෙන් එදින පළව තිබූ පුවත දැඩි විවේචනයකට ලක්කළ ඇමැතිවරයා, මෙය අදාළ ‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන’ පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමට ද්වේෂ සහගතව මවන ලද පුවතක් ලෙසින් ගෙන ‘අරුණ’ සක්වල ගලේ ගසනු රිසියෙන් අදහස් දැක්වීය.
මේ උගත් ඇමැතිවරයා කියැවීමට දන්නා බව අපට හොඳාකාරවම විශ්වාසය. නමුත් ඔහුගේ උක්ත ප්‍රකාශයත් සමගින්, ඔහු නිවැරදිව කියවාගැනීමට දන්නේද යන්න ගැන සාධාරණයක් සැකයක් මතුවීම වළකනු නොහැකිය.
පාදක පුවතේදී මතුකර ඇති කරුණ වනුයේ පොලිසිය විසින් ගනු ලැබූ යම්කිසි ක්‍රියාමාර්ගයකි. පොලිසිය විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ නම යොදාගනිමින් තමන්ට අසාධාරණයක් සිදුකළ බව කොස් විකුණා ජීවිකාව සරිකරගත් ඒ මිනිසා චෝදනා කරන්නේය. පුවත්පතක් ලෙසින් ‘අරුණ’ කර ඇත්තේ එය වාර්තා කිරීම පමණි. එහිදී මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන්ද ‘අරුණ’ විසින් විමසනු ලදුව, එකී වැඩසටහන යටතේ එවන් කිසිදු නියෝගයක් නිකුත් කර නැති බවට ඔහුගේ ප්‍රකාශයද එම පුවතේම ඇතුළත්ය. පාදක පුවත ගෙනහැර දැක්වීමේදී, එයට අදාළ අනෙකුත් පාර්ශ්වයන් ඒ පිළිබඳ දක්වන අදහස් හෝ ප්‍රතිචාරද එයට එක්කිරීම මඟින් එය පිරිපුන් පුවතක් බවට පත්වන්නේය යන්න මාධ්‍ය වාර්තාකරණයේ න්‍යායාත්මක පිළිගැනීමකි. ඒ අනුව මෙකී පුවතේ ඇති වරද කොතැනදැයි විමසා බැලිය යුතුය. වරදක් ඇත්නම් ඒ වරද සිදුව ඇත්තේ අකුරු කියවීමට දත්, පුවත කියවීමට නොදත් කිසියම් අයකු මෙපුවත දේශපාලනයේ බහා, තම සිතැඟි හා ඈඳා කියවීම නිසා විය යුතුය. මෙය එකී පුද්ගලයාගේ සාක්ෂරතාව ගැන නොව ඔහුගේ ‘පුවත්පත් සාක්ෂරතාව’ පිළිබඳ ගැටලුවක් ද නැතහොත් පුවත් වාර්තාකරණයේ ගැටලුවක් ද යන්න තම තම නැණ පමණින් අවබෝධ කරගත යුත්තකි. පාර අයිනේ කොස් විකුණන, කැඳ විකුණන පොඩි මිනිසා කෙරෙහි සැබැවින්ම සංවේදී ආණ්ඩුවක් නම් මෙවැනි අවස්ථාවක කළ යුත්තේ, ඒ මිනිසාගේ ගැටලුව වාර්තා කළ පත්තරයට බුරමින්, එය සපාකෑමට දඟලමින්, ඒ මිනිසුන් හට නඩු දැමීමේ පාදක සිදුවීම සාධාරණීකරණය කිරීම ද? නැතහොත් ඒ මිනිසුන්ගේ ජීවිකාව රැකෙන විකල්පයක් ලබාදීම හෝ පොලිසියේ යම් කිසිවකු ‘ක්ලීන් ශ්‍රී ලංකා’ නැමැති කාලීන වැදගත්කමින් යුතු ජාතික වැඩසටහනේ නම අවභාවිත කරමින් ‘නඩු ටාර්ගට්’ සපුරාලීමක යෙදී තිබුණේ නම් ඒ අකටයුත්ත වළකාලීමද?
හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බැලීම හෝ පණිවුඩකාරයාටවෙඩි තැබීමෙන් ඇති ඵලය කිම.???
මිනිසෙකුගේ ජීවිතය පරිපූර්ණ වීමට පොතපත කියැවිය යුතුය යන්න මේ සමාජයේ සියල්ලන් පිළිගත් කරුණකි. නමුත් පොත පමණක් නොව පත හෙවත් පත්තර ද කියැවිය යුතුය. පොත පමණක් කියැවීමට දන්නා ‘පත’ කියැවීමට නොදන්නා මිනිසුන්ගේ උගත්කම අසම්පූර්ණය. එවැන්නෝ ‘භාගෙට උගත්තු’ වන්නෝය. භාගෙට උගතෙක් යනු ‘භාගෙට නූගතෙක්’ ද වන්නේය. එවිට ඔහු තමන්ගේ ‘නූගත් අඩ’ පුරවාගන්නේ පක්ෂ දේශපාලනයෙන් ඔද්දල් වූ මනස්ගාතවලින් ද විය හැකිය. පුවත කියැවීම පිණිස පාඨකයා පොලඹවන, පාඨකයාට ආරාධනා කරන අදාළ ශීර්ෂ පාඨය පමණක් කියවා එය ‘සමස්ත පුවත’ යැයි සිතා නන්දෙඩවීම එවැන්නන් විසින් සිදුකරන ‘අහිංසක නොවන’ වරදකි. පිටකවරය පමණක් බලා පොත නොකියවා අදහස් දක්වන්නෝ පුද්ගලිකව තමා හෝ තමා නියෝජනය වන කඳවුරටද පොදුවේ සමාජයටද කරන හානිය සුළුපටු නැත. පුවත් වාර්තාකරණය නොරිස්සමින් එදෙසට බුරාගෙන පැනීම යනු ජනතාවට මෙන්ම පාලකයාටද රටේ භූමි යථාර්ථය දැනගැනීමට ඇති අවස්ථාව අහුරාලීමය. එය ජනතාවට තම ජීවන ගමනේ නිසි තීන්දු තීරණ ගැනීම මෙන්ම පාලකයාට රට වෙනුවෙන් නිසි තීන්දු තීරණ ගැනීමද වළකාලීමකි. එබැවින් එය එක්තරා ආකාරයක ජාතික අපරාධයකි.
ඒ අතින් ගත්විට අදාළ ‘අරුණ’ පුවතේ දක්වා ඇති ආකාරයේ ‘භූමි යථාර්ථයන්’ නිසි පරිදි වාර්තා වීම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැනි අගනා වැඩසහනක් නිරිපද්‍රිතව පෙරට යෑමේදී අතිශයින් වැදගත්ය. රටක් නැංවීම පිණිස පාලකයන් විසින් සත්භාවයෙන්ම ගනු ලබන තීන්දු තීරණවලට විකට ඇඳුම් අන්දවා එය ‘අල කරන්නෝ’ එකී යාන්ත්‍රණය තුළම සිටිති. අපරාධ රහිත දේශයක් කිරීමේ සිද්ධාන්තයෙන් යුතුව පොලිසිය විසින් ඉකුත් සමයේ ක්‍රියාත්ම කළ ‘යුක්තිය’ මෙහෙයුමේ නාමයෙන්ද එවැනි දෑ වාර්තාවිය. එබැවින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ‘ඩර්ට්’ කරන සමහරක් හැසිරීම් ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පැවැරී ඇති යම් පුද්ගලයන් අතින්ම සිදුවන්නේ නම්, ඒ පිළිබඳ වාර්තාවීම, එම වැඩසටහන පිරිසිදුව හා සාර්ථකව පෙරට රැගෙන යෑම වෙනුවෙන් ලාභයක්ම ලෙසින් ගැනීම පරිණත පාලනයක ලක්ෂණයි. (කොස් සම්බන්ධයෙන් පුවතක පැටලී එහි කොහොල්ලෑ ගා ගැනීම ඒ පරිණත බව ද යන්න වෙනම කරුණකි)
සාමාන්‍යයෙන් රටක දැවැන්ත ව්‍යාපෘති, වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී එහි වටිනාකම කොතෙක් වුවද දේශපාලන කුහකත්වය පෙරට ගෙන ඒවාට පහරදෙන ‘කැත ගතියක්’ මේ රටේ ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගය තැනුවේ ඇඹුල් තියල් ගෙන ඒමටය කීම, මාගම්පුර වරායේ මැවූ ‘පත’ ගල මෙන්ම පෝර්ට් සිටිය හැදීමට ලංකාවේ ගල් මදිවෙතැයි ‘ගල් පැලෙන’ කතා කියැවීම එයට උදාහරණය. එසේ කිව්වේ අද ආණ්ඩු බලය ගත්, නිතර දෙවේලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුවගොස් පැමිණිලි කරන මාධ්‍යයට එරෙහිව මාධ්‍ය සාකච්ඡා කරන මැති ඇමැතිහුය. ඒ මානසිකත්වයෙන් ගත් විට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ඉදිරියේ කොස් ගෙඩියකට මෙතරම් සසල වීම අස්වභාවික ද නැත.