roadBlockMobile
brand logo
logo
ශිෂ්‍ය ප්‍රවේශ අංශයේ නවීකරණයට UGC ලොක්කාගෙන් විරෝධය

ශිෂ්‍ය ප්‍රවේශ අංශයේ නවීකරණයට UGC ලොක්කාගෙන් විරෝධය

18 October 2024 | නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍ය ප්‍රවේශ කටයුතු අංශය නවීකරණය සඳහා මීට වසරකට පෙර මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි දෙකහමාරක පමණ මුදලක් වෙන් කර දී තිබෙන නමුත් එහි ඉහළ නිලධාරියෙක් එම නවීකරණ කටයුතු වළක්වමින් සිටියි.


එම නවීකරණ කටයුතු වළක්වමින් සිටින්නේ වසර කිහිපයක්ම ශිෂ්‍ය ප්‍රවේශ අංශය භාරව සිටි මෙම නිලධාරියා මීට වසර තුනක පමණ සිට එම කටයුතුවලින් ඉවත් කිරීමට විරෝධය පළ කිරීමක් වශයෙන් යැයි එහි ආරංචි මාර්ග කීවේය.


කොමිෂන් සභාවේ ප්‍රධානම අංශය වන ශිෂ්‍ය ප්‍රවේශ අංශය මේ වන විට කටයුතු කරමින් තිබෙන්නේ අවම පහසුකම් මත ය. මහා භාණ්ඩාගාරය ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ නව තාක්ෂණයෙන් යුත් පරිගණක පද්ධතියක් ඇතුළු පහසුකම් එම අංශයට ලබා දීම වෙනුවෙනි. එම ප්‍රතිපාදන ඉල්ලුම් කර ඇත්තේ එම අංශය නවීකරණය වූයේනම් විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතු තවදුරටත් කාර්යක්ෂමව හා ඵලදායිත්වයෙන් යුතුව පවත්වාගෙන යාමේ අරමුණිනි. එහෙත් ඉහතින් සඳහන් කළ නිලධාරියාට අවශ්‍ය වී ඇත්තේ තමන් නොමැති එම අංශය කාර්යාක්ෂම නොවන බව පෙන්වීම යැයි ද ඉහත ආරංචි මාර්ග කීවේය.


කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රමුඛ සාමාජිකයන් පසුගිය දා ඉවත් වීමත් සමග සිය බලතල අයුතු ලෙස පාවිච්චි කරමින් නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට ද මෙම නිලධාරියා කටයුතු කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.


 

More News..