වරාය අධිකාරියේ ගැටලුවලට විසඳුම් දීමට කමිටුවක්
19 February 2025
වරාය අධිකාරියේ ගැටලුවලට විසඳුම් දීමට කමිටුවක්
19 February 2025
වරාය අධිකාරියේ පරිපාලනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවලට කඩනමින් විසඳුම් දීමට සහ කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඊට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පොරොන්දු වූ බව වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උදේනි කළුතන්ත්‍රි මහතා පැවසීය.
වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ නියෝජිතයන් සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර වරාය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසූ බව කළුතන්ත්‍රි මහතා කීය.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය (ඊසීටී) සහ එම පර්යන්තයේ මාර්ගය සම්බන්ධයෙන් මේ වන විට උද්ගත වී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව සමාලෝචනය කරන්නේ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තිය සමිති ඉදිරිපත් කර ගැටලුවලට ප්‍රතිචාර දැක්වූ ආකාරය වඩාත් සතුටුදායක මෙන්ම එවැනි පරිපාලකයන් සමග පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කළුතන්ත්‍රි මහතා කීය.
ශ්‍රී ලංකා වරායාධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලනය වරාය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ වරාය සභාපතිවරයා ඇතුළු බලධාරීන් නොමඟ යවා ඇති බව එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව කී කළුතන්ත්‍රි මහතා වරාය පරිපාලනය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු හිතාමතාම ප්‍රමාද කරන්නේ යැයි දැනුම්දුන් බවද ඒ මහතා සඳහන් කළේය.
ඊසීටී පර්යන්තයේ ඒකාබද්ධ සැලැස්ම සහ මාර්ගය සැලැස්ම වර්තමාන පරිපාලනය වෙනස් කිරීම නිසා එහි ඉදිකිරීම් ප්‍රමාදවීම, අමතරව දැවැන්ත වියදමක් දැරීමට සිදුවීම සහ මාර්ග සැලැස්ම වෙනස් කිරීම හේතුවෙන් අනාගතයේ විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවීම ආදී කරුණු අමාත්‍යවරයාට ඉදිරිපත් කළ බව කී කළුතන්ත්‍රි මහතා පැවසුවේ එම පර්යන්තය ලබන ජූලි මස විවෘත කළ හැකි බවට ජනාධිපතිවරයාට සහ අමාත්‍යවරයාට කර ඇති ප්‍රකාශය නොමඟ යැවීමක් බවත්ය.
නැගෙනහිර පර්යන්තයේ සහ එහි මාර්ගයේ ඉදිකිරීම්වල මේ වන විට පවතින තත්වය අනුව ඉදිකිරීම අවසන් කිරීමට අවම වශයෙන් තවත් මාස 16ක් පමණ ගතවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයාට ප්‍රකාශ කළ බවත් එම පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට අවශ්‍යය නම් ඒ සඳහා කළ යුතු පියවර ප්‍රකාශ කළ බවත් ඒ මහතා කීය.
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂකවරයාගේ බලපෑම මත වරායේ අධිකාරියේ වඩා සංවේදී අංශවල උසස් නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අත්තනෝමතිකව ස්ථාන මාරු කිරීම් හේතුවෙන් බොහෝ කොට්ඨාසවල ඵලදායීතාව අඩුවී ඇති බවත් වරාය අධිකාරිය 1979 වසරේ ආරම්භ කළ දිනයේ සිට ජ්‍යෙෂ්ඨතම ස්ථිර තනතුරක් වන කළමනාකාර අධ්‍යක්ෂ තනතුර ස්ථීර තනතුරු ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස බලධාරීන් දැනුවත් නොකර කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
නැගෙනහිර බහලූම් පර්යන්තයට අත්‍යවශ්‍යම උපකරණයක් වන Straddle Carrier මිලදීගැනීමට අදාල ටෙන්ඩරය වර්තමාන පරිපාලනය අවලංගු කිරීම නිසා නැවත ටෙන්ඩර් කිරීමට මාස හයක පමණ කාලයක් ගතවන බවත් එම ඇනවුමදී නිෂ්පාදනය කරගැනීමට තවත් මාස දහයක පමණ කාලයක් ගතවන්නේ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ බවත් ඔහු කීය.
වර්තමානයේ පවතින තත්වය අනුව කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ වැඩ කටයුතු අවසන් කර විවෘත කිරීමට තවත් වසර එකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ බව වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උදේනි කළුතන්ත්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.