brand logo
logo
පාසල් දරුවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගන්නා අමුතු ජාවාරමක්

පාසල් දරුවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගන්නා අමුතු ජාවාරමක්

21 November 2024 | අනීෂා මානගේ

යෞවන වයසේ පසුවන පාසල් දරුවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගනිමින් වෙනස් කර ඔවුන් බියගන්වා නිරුවත් ඡායාරූප ගෙන්වා ගැනීමේ සිද්ධීන් මේ දිනවල වැඩිවශයෙන් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුනුපොළ පැවසීය. 


විවිධ උපකාරක පන්තිවල වට්ස්ඇප් හා ටෙලිග්‍රෑම් සමූහ හරහා පාසල් දරුවන්ගේ ඡායාරූප ගෙන ඒවා කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් නිරුවත් ඡායාරූප සමග බද්ධ කර නැවත යවා පාසල් දරුවන් බිය ගන්වන බව අනාවරණය වී ඇත. 


මෙහිදී වට්ස්ඇප් හා ටෙලිග්‍රෑම් සමූහ ගිණුමට යොදා ඇති ඡායාරූප බාගත කරගෙන ජාවාරම්කරුවන් විසින් කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් එම ඡායාරූප සකස් කරනු ලබයි. එලෙස සකස් කළ ඡායාරූප යළි හිමිකරුට යවා එම ඡායාරූපය අසභ්‍ය වෙබ් අඩවිවල බෙදාහැරෙමින් පවතින බවට ඔවුන් බියගන්වා එය ඉවත් කරගැනීමට අවශ්‍ය නම් මෙවැනි ඡායාරූප ඉවත් කිරීමේ සේවාවක් හරහා එය ඉටුකරගත හැකි බව දන්වා තමා එවන උපදෙස් මාලාව අනුව ක්‍රියා කරන්නැයි උපදෙස් දෙයි. ඡායාරූපයේ සිටින්නේ අදාළ දරුවාමදැයි නිශ්චිත කරගැනීමට නම් සත්‍ය නිරුවත් ඡායාරූපයක් උඩුගත කරන ලෙස එම උපදෙස් මාලාවේ අඩංගු වේ. 


එම උපදෙස් මාලාව අනුගමනය කරන දරුවන් සිය සැබෑ නිරුවත් ඡායාරූපයක් අදාළ ලින්ක් ඔස්සේ යැවීමට පෙලඹෙයි. 


මෙවැනි සිදුවීම් වීමේ වැඩි ප්‍රවණතාවක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් උසස්පෙළ පන්තිවල දරුවන් මෙවැනි සිදුවීම්වලට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.   


 

More News..