roadBlockMobile
brand logo
logo
වෙළෙඳපොළේ පොල් මිල සියයට  15 කින් පමණ ඉහළට

වෙළෙඳපොළේ පොල් මිල සියයට 15 කින් පමණ ඉහළට

15 October 2024 | සාලිය කුමාර ගුණසේකර

වෙළෙඳපොළේ පොල් මිල සියයට 15 කින් පමණ ඉහළ ගොස් ඇති බැවින්, නාගරික ජනතාවට සහනයක් ලෙස නගරාසන්න ප්‍රදේශවලින් බැහැර රජයේ ආයතන ආශ්‍රිත වතුවල තිබෙන පොල් ඉක්මනින් නගරවලට ගෙනැවිත් අලෙවි කිරීමට රජයේ ආහාර ප්‍රතිපත්ති කමිටුව නිර්දේශ කර ඇත.


ආහාර ප්‍රතිපත්ති කමිටුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ බවත්, මෙම කමිටුවේ ජනාධිපති ලේකම්, අගමැති ලේකම් ඇතුළු ලේකම්වරු දස දෙනකු සාමාජිකත්වය දරණ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් පැවැසීය.


රටේ පොල් හිඟයක් පවතින බවත්, වසර පහක පමණ කාලයකින් පොල් වගාවට නිසි පරිදි පොහොර යෙදවීමක් සිදුවී නොමැති බවත්, පොල් අස්වැන්න අඩුවීම නිසා වෙළෙඳපොළේ පොල් මිල සියයට 15 කින් පමණ වැඩිවී ඇති බවත් ඔහු කීවේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.


දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 25,000 ක තොගයක් අලෙවි කර ගැනීමට නොහැකිව තිබෙන බවත්, ඊට අදාළ වෙළෙඳපොළ තත්ත්වයන් සහ සංචිත සම්බන්ධ තොරතුරු ලබාගෙන එම තොගය අලෙවි කිරීමට අදාළව ආහාර ප්‍රතිපත්ති කමිටුව තීරණයක් ගෙන ඇති බවත් ඔහු කීවේය.


රජය විසින් ලොකු ලූනු ආනයනයේදී යම් බදු පැනවීමක් සිදු කළද, ආනයනික පිරිවැය අඩු වූවද වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 300 ක් වැනි ඉහළ මිලකට අලෙවි කිරීම සම්බන්ධව වහාම සොයා බලා එය විසඳීමට අදාළව වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිර්දේශ කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.


පසුගිය රජය ගත් තීරණයකට පරිදි කුකුළු ආහාර ආනයනයේදී සියයට 18 ක වැට් බද්දක් පැනවෙන බවත්, මේ නිසා කුකුළු ආහාර මිල ඉහළ ගොස් ඇති බවත්, මේ නිසා අඩු මිලට කුකුළු ආහාර ලබාදීමට අදාළව රජයේ ආහාර ප්‍රතිපත්ති කමිටුව නිර්දේශ කර ඇති බවත් ඇමැතිවරයා කීවේය.

 

More News..