brand logo
logo
සතුන් පිළිබඳ ඇකඩමියක්

සතුන් පිළිබඳ ඇකඩමියක්

17 January 2023

සත්ව සංරක්ෂණය හා සත්ව උද්‍යාන කළමණාකරණය පිළිබඳව ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙි.


දැනට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, හස්ථි බාරකරුවන්, මත්ස්‍යාගාර උපස්ථායකවරුන් සත්ව බාරකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 800ක් පමණ සිටියද ඔවුන්ට වැඩිදුර පුහුණුව සඳහා විදිමත් ආයතනයක් නොමැති බව අමාත්‍යාංශය පවසයි.


එමෙන්ම පසුගිය කාලය තුළ චීනය, ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ඉන්දියාව, ලැට්වියාව, චෙකොස්ලොවේකියාව, පකිස්ථානය, මැලේසියාව හා මහා බ්‍රිතාන්‍ය වැනි රටවල්වලින් විදේශ ශිෂ්‍ය කණ්ඩායම් 300ක් පමණ වනසත්ව සංරක්ෂණය හා සත්වෝද්‍යාන කළමනාකරණය පිළිබඳ පුහුණුව ලබා ගැනීම සඳහා මෙරටට පැමිණ තිබේ.


සත්ව සංරක්ෂණයට හා සත්ව උද්‍යාන කළමනාකරණය සදහා මෙතෙක් ජාතික ඇකඩමියක් නොමැතිකම බරපතල අඩුපාඩුවක් බව පෙනී ගොස් ඇති නිසා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන දෙස් විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබා දිය හැකි සත්ව සංරක්ෂණ හා සත්ව උද්‍යාන කළමනාකරණය පිළිබඳ ජාතික අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.


සත්ව සංරක්ෂණ ඇකඩමිය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. මෙහි දෙස් විදෙස් සිසුන් රැසකට අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කර තිබෙන බව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් පවසයි.

 

More News..