brand logo
logo
සජබ කොළඹ සෞඛ්‍ය සමුළුව ලෙඩවෙයි

සජබ කොළඹ සෞඛ්‍ය සමුළුව ලෙඩවෙයි

19 August 2024 | ගයාත්‍රි ගීගනආරච්චි

සමගි ජන බලවේගයේ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය බලවේගයේ මහා සමුළුව කොළඹදී ඊයේ (18 වැනිදා) පැවැත්වීමට සැලසුම් කළත් සෞඛ්‍ය වෘත්තිකයන් විසිදෙනකු පමණක් ඊට සහභාගී වීම නිසා සමුළුව පැවැත්වීමට නොහැකි විය.


එම සමුළුව ඊයේ (18 වැනිදා) පෙ.ව. 9.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර උදෑසන 10.30 වන තෙක්ම ප්‍රමාණවත් පිරිසක් සහභාගී නොවීම නිසා සමුළුව කල් තැබීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත.


සමුළුව සඳහා වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සෞඛ්‍ය වෘත්තිකයන් දෙදහසක් පමණ සහභාගී කරවීමට නියමිතව තිබිණි. එහෙත් ඊට සහභාගී වී ඇත්තේ විසිදෙදෙනෙක් පමණි.


මීට පෙර සමගි ජන බලවේගයේ සෞඛ්‍ය රැස්වීම් සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසිනි. එහෙත් ඔහු ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කිරීමත් සමග මෙම සමුළුව සංවිධානය කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන වෙත පැවරී ඇත.


මේ සම්බන්ධයෙන් ‘අරුණ’ කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන පැවසූයේ නොවැළැක්විය හැකි හේතුවක් මත සමුළුව කල් දැමීමට සිදූ වූ බවයි. සමුළුවට සහභාගී වූ පිරිසෙහි අඩුවක් නිසා එවැන්නක් සිදු නොවූ බවත්, සමුළුව නැවත පවත්වන දිනයක් පිළිබඳව පසුව දැනුම් දෙන බවත් ඔහු කීය.


එහෙත් ‘තමන් මෙම සමුළුවට සහභාගී නොවන බව’ සෞඛ්‍ය වෘත්තිකයන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්නට දන්වා ඇතැයි වාර්තා වේ.

 

More News..