ආණ්ඩුව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලයි
04 April 2024 | සිතාර ඉරාෂ් - වටවල
ආණ්ඩුව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලයි
04 April 2024 | සිතාර ඉරාෂ් - වටවල
කොරෝනා වසංගතය පැවති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් පවසයි.
හැටන් නගරයේ පසුගිය 02 වැනිදා පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය මෙම බලහත්කාරය නිර්මාණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කිහිපයක් ප්‍රතික්ෂේප කරමින් බවත්, මෙම ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොරෝනා වින්දිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බවට පවසමින් බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ජයවර්ධනපුර සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය අභියෝගයට හා ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම පර්යේෂණය ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීම ප්‍රධාන අරමුණ වූ බවත්, ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මගින් කොරෝනා ආසාදිත සිරුරු භූගත ජලය අපවිත්‍ර වීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කර තිබූ බවද හෙතෙම කීවේය.
එහෙත් මෙම වසරේ ප්‍රකාශයට පත් කරන ලද මෙම සමාලෝචනයේ නිගමනය කළේ වසංගතය අතරතුර නිසි ලෙස සිදු කරන ලද භූමදානයන්ගෙන් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නොමැති බවය.
ඒ අනුව එම පරීක්ෂණ වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කනස්සල්ලක් ඇති බවත් එම නිසා බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් රජයෙන් විධිමත් සමාව අයැදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවසිය.