brand logo
logo
මන්ත්‍රිවරුන්ට මුහුද මැද පාටියක්

මන්ත්‍රිවරුන්ට මුහුද මැද පාටියක්

10 January 2024 | එෆ්.අස්ලම්

වරාය අධිකාරිය සතු හංසකාවා සහ දියකොවුල්ලා නමැති කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09 වැනිදා) විනෝද සංචාරයක නිරතව තිබේ.


වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ටග් යාත්‍රා වන මෙම කුඩා ප්‍රමාණයේ නෞකා ද්විත්වය වෙන්කර දී තිබෙන බවත් මෙම නෞකා දෙකෙහි සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන් සඳහා සියලුම ආහාර පාන වර්ගද එම අධිකාරිය විසින් සලසා දී තිබේ.


මන්ත්‍රිවරුන් මෙම විනෝද චාරිකාව සඳහා රැගෙන ගිය නෞකා දෙකම වරායට එක්රොක් වන වැලි ඉවත් කිරීම සදහා භාවිත කරන සුපතළ නෞකා දෙකක් බවද වරාය ආරංචිමාර්ග සඳහන් කරයි.


මන්ත්‍රිවරුන් පනස් දෙනකු සඳහා සූදානම් කළ මෙම විනෝද සංචාරය සඳහා වරාය අධිකාරියට රුපියල් ලක්‍ෂ 25 කට අධික මුදලක් වැය වී ඇතැයිද වාර්තා වේ.


වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ගේ පෞද්ගලික ලේකම් සෙනාලි ජයසේකර විසින් මන්ත්‍රිවරුන් සඳහා සූදානම් කළ මෙම විනෝද සංචාරයට අවශ්‍ය ආහාර පාන සහ ද්‍රව්‍ය ලැයිස්තුවක් සපයන ලෙසට වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් පෙරේදා (08වැනිදා) ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබිණි.


එම ලිපියට අනුව චීස් සැන්ඩ්විච්, බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි, පේපර් කප්, කුඩා වීදුරු, හැඳි සහ ගෑරුප්පු, කුඩා පිඟන්, පුටු (කවර සහිත) එක වර්ගයකින් 55 බැගින්, වතුර බෝතල් (පොඩි) 60 ක්, ටිෂූ පැකට් 5 ක්, ටෙන්ට් එකක් පුටු 10 ක් සහ මේස සහිත (ඇමැති ආරක්‍ෂක අංශය සඳහා) ලබාදෙන්නැයි ඉල්ලීම් කර ඇත.


එම ලිපියෙන් මන්ත්‍රිවරුන්ට සංග්‍රහය පිළිගැන්වීම සඳහා වරාය කාර්ය මණ්ඩලයේ 5 දෙනෙක් යෙදවීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබිණි.


මෙම චාරිකාව සඳහා යොදාගත් වරාය අධිකාරිය සතු නෞකා දෙක පසුගිය දෙසැම්බර් මස 13 වැනිදා යොමු කළ ලිපියක් හරහා වෙන්කර ඇත.


නව වසරේ ආරම්භ වෙනුවෙන් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙනුවෙන් සූදානම් කළ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරය සඳහා සහභාගී වන මන්ත්‍රිවරුන්ට ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා විසින් ඇරයුම් පත්‍රද වෙන වෙනම ලබාදී තිබෙන අතර ඔවුන් සියලු දෙනාට (09 වැනිදා) පස්වරු 06 වන විට වරාය පරිශ්‍රයට පැමිණෙන්නැයි එමගින් දැනුම් දී තිබිණි.


මේ සම්බන්ධයෙන් වරාය රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකරගේ දුරකතනයට ඇමතුම් කිහිපයක්ම ගෙන විමසීමට උත්සහා කළත් එම උත්සහාය ව්‍යර්තව ගියේ ඇමතිවරයාගෙ දුරකතනයට කාන්තාවක් ප්‍රතිචාර දැක්වීම නිසාය.

 

More News..