brand logo
logo
අමාරුවෙන් හැබෑ කරගත් හීනය බොඳවෙන්න දෙන්නේ නැහැ

අමාරුවෙන් හැබෑ කරගත් හීනය බොඳවෙන්න දෙන්නේ නැහැ

02 July 2024 | ලක්ෂාන් නිලංක

පාරදිගේ ටෙලිනාට්‍යය හරහා කලා ලෝකයට පිවිසුන දේශානි නෙහාරා පසුගිය වසරේදී අන්තර්ජාතික ගුවන් සේවිකාවක් විදිහට වෘත්තීය පටන් ගනිමින් ඩුබායිවල ජීවත්වීමට පිටත්ව ගියා. වෙනත් වෘත්තීයකුත් තෝර⁣ගෙන රටින් ගියහම ගොඩක් දෙනෙක් හිතුවේ දේශානිගේ රංගන ජීවිතය එතනින් ඉවරයි කියලා. හැබැයි මේ වෙද්දි පුංචි තිරයේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන පාට කුරුල්ලො ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් දේශානි ආපහු කලා ලෝකයට ඇවිත් තියනවා. ඉතින් දේශානිගේ යළි ආගමනය ගැන වගේම රටින් එළියට ගිහින් ගෙවන ජීවිතය ගැන දැනගන්න අපි දේශානි එක්ක කතා කළා.




ගුවන් සේවිකාවක් වුණත් දේශානි තාම රඟපාන්න තියන කැමැත්ත අතෑරලා නැහැ නේද ?


පුංචි කාලෙ ඉඳලා මට තිබුණ හීනයක් තමයි නිළියක් වගේම ගුවන් සේවිකාවක් වෙනඑක. ඉතින් කොහොමහරි නිළියක් වෙන්න හම්බවුණා වගේම කෙටි කාලයකින් හොඳ ජනප්‍රියත්වයකුත් ගොඩනගා ගත්තා. ඒ වගේම ජාත්‍යන්තර ගුවන් සේවා සමාගමක ගුවන් සේවිකාවක් වෙලා මගේ අනිත් හීනයත් සැබෑ කරගත්තා. ඒ විදිහට අමාරුවෙන් සැබෑ කරගත්ත හීන බොඳවෙන්නෙ දෙන්නෙ නැතුව වෘත්තීයන් දෙකේම කටයුතු කරන්න මම කැමතියි. ඉතින් ඩුබායිවල පදිංචිවෙලා ගුවන් සේවිකාවක් විදිහට රැකියාව කරන ගමන් නිවාඩු අරගෙන ලංකාවට ඇවිත් රංගන කටයුතුත් කරනවා.





මේ දවස්වල පාට කුරුල්ලො එක්ක වැඩකටයුතු කොහොමද ?



මාව නිළියක් විදිහට පුංචි තිරයට අඳුන්වලා දීපු පාරදිගේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියා තමයි පාට කුරුල්ලො ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නෙ. ඉතින් චාමර අයියගේ ආරාධනාවෙන් තමයි පාට කුරුල්ලො ටෙලිනාට්‍යයේ භාවනාගේ චරිතය මට ලැබුණේ. නිතර දකින බොළඳ මෙගා ටෙලිනාට්‍යවලට වැඩිය වෙනස් විදිහට කුතුහලයෙන් ගලාගෙන යන ටෙලිනාට්‍යයක් තමයි පාට කුරුල්ලො කියන්නෙ. මම රඟපාන භාවනාගේ චරිතය වුණත් මම මීට කලින් රඟපාලා නැති වෙනස් විදිහෙ එකක්. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකයන්ටත් පාට කුරුල්ලො වෙනස් රසවත් අත්දැකීමක් වෙයි කියලා.


රංගනයට රැකියාව බාධාවක් නැද්ද ?


රැකියාව රංගනයට බාධාවක් කරගන්නෙ නැතුව අභියෝගයක් විදිහටයි මම භාර අරගෙන ඉන්නෙ. රූගතකිරීම් තියනකොට සමහර ගුවන්වාර මාරුකරගෙන වෙලාව හදාගෙන ලංකාවට ඇවිත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම ටෙලිනාට්‍යය නිෂ්පාදක කණ්ඩායම එක්ක කතා කරගෙන ගුවන්වාර නැතිවෙලාවල් රූගත කිරීම්වලට යොදාගන්නවා. රංගනය සහ ගුවන් සේවිකා වෘත්තීය කියන්නෙ වගකීම් සහගත වෘත්තීයන් දෙකක්. වෘත්තීයන් දෙකම සමබරව කරන එක අමාරු වුණත් මම කොහොමහරි කළමනාකාරණය කරගෙන වෘත්තීයන් දෙකටම සාධාරණයක් කරනවා.



ලංකාවෙන් එළියට ගිහින් ගෙවන ජීවිතය කො⁣හොමද ?


ඉස්සර මම හිතුවේ ලංකාව කියන්නෙ ජීවත්වෙන්න සුදුසු රටක් නෙමෙයි කියලා. මට ගොඩක් ඕන කළා වෙන රටකට ගිහින් ජීවත්වෙන්න. හැබැයි මම දැන් වෙන රටක ඉන්න කෙනෙක් විදිහට වගේම තවත් රටරටවලට යන කෙනෙක් විදිහට හිතෙන්නෙ ලංකාව තරම් සුන්දර රටක් තවත් නැහැ කියලා. පාරිසරක අතින් ගත්තහම විදේශ රටවල ඉන්න ගොඩක් අමාරුයි. හැබැයි ලංකාව කියන්නෙ ඕනාවට වැඩිය සීතලත් නැති රස්නෙත් නැති රටක්. ඒ වගේම මගේ පවුලෙ අය, යළුවෝ ඉන්නෙ ලංකාවේ. ඉතින් රට හිටිය⁣ට මගේ හිත හැමවෙලේම තියෙන්නෙ ලංකාවේ.




රැකියාව නිසා රංගනයට සම්පූර්ණ කාලය වෙන් කරන්න බැරි වීමෙන් ක්ෂේත්‍රයට අලුතෙන් එන අය දේශානිව පහුකරගෙන ඉස්සරහට යයි කියලා බය නැද්ද ?


රැකියාව නිසා සම්පූර්ණ කාලය මට රංගනයට වෙන්කරන්න අමාරුයි. හැබැයි එහෙමයි කියලා ක්ෂේත්‍රයට අලුතෙන් එන අය ගැන ඊර්ෂ්‍යාවක්වත් බයක්වත් නැහැ. රංගනයට අඩු කාලයක් වෙන් කළත් ඒ රංගනය හරියට කරනවා. මම දැන් කරන රංගනයට වැඩිය ඊළඟ රංගනය සාර්ථක විදිහට කරන්නෙ කොහොමද කියලා මට මම එක්කම තියන අභියෝගය මිසක වෙන අය එක්ක අභියෝගයක් නැහැ. ඉතින් මේ තාක් මම ඉස්සරහට ආවේ හැකියාවෙන්. අලුතෙන් කවුරු ක්ෂේත්‍රයට ආවත් මගේ ඒ රංගන හැකියාව ගැන ඉස්සරහටත් විශ්වාස කරනවා.



රඟපාන්න විතරක් නෙමෙයි හොඳට නටන්නත් පුළුවන් කියලා ආරංචියි ?


පහුගිය දවස්වල ටෙලි තරු රැයක් නමින් ටෙලිනාට්‍යයවල රඟපාන නළු නිළියන්ගේ නර්තන ප්‍රසංගයක් තිබුණා. චාමර අයියා තමයි මට ඒ ප්‍රසංගයට ආරාධනා කෙරුවේ. නටන්න තියන ප්‍රසංගයක් නිසා මට හරි ආස හිතුණා. ඉතින් ඒ වෙනුවෙන්ම නිවාඩු දාලා ලංකාවට ආවා. හැබැයි ප්‍රසංගයට දවස් දෙකක් තියලා ලංකාවට ආපු නිසා ඒ ⁣දවස් දෙකේදි විතරයි පුහුණුවීම් කටයුතු කරන්න ලැබුණෙ. ඒ නිසා හොඳටම නටන්න නැතුව ඇති. හැබැයි ප්‍රේක්ෂකයන්ගෙන් නම් ලස්සන සරාගී නර්තනයක් කියලා ප්‍රතිචාර හම්බ වුණා.



ටරට ගියාට පස්සෙ වෙනස් විදිහෙ විලාසිතා කරලා තියනවා. . .




ඔව්. මම විලාසිතාවලට ගොඩක් කැමැතියි. කාලෙක ඉඳලා හිතාගෙන හිටපු දෙයක් තමයි බුරිය ප්‍රදේශය විදලා ලස්සන කරාඹුවක් දාපු පියර්සිං විලාසිතාවක් කරන්න. ඉතින් ඩුබායිවලදි ඒ හීනය සැබෑ කරගත්තා. බුරියෙන් නවතින්නෙ නැතුව ඇඟේ තව තැන්වල ඉදිරියෙදි ලස්සන පියර්සිං විලාසිතා කරන්න මගේ අදහසක් තියනවා. ඒ වගේම මම ටැටූවලටත් ගොඩක් කැමැතියි. හැබැයි රැකියාව නිසා විලාසිතා කරන්න වෙලා තියෙන්නෙ සීමාවක් ඇතුව. රැකියාවේ තත්වයට හානි නොවෙන විදිහට ඉදිරියෙදි ටැටූ එකක් කරන්නත් අදහසක් තියනවා. ඇඳුම් විලාසිතාත් මම අලුත් විදිහෙ වෙනස් දේවල් කරනවා. ඇඟ හැඩට නඩත්තු කරන නිසා මට ඕනෑම විදිහක විලාසිතා කරන්න පුළුවන්. හැබැයි ඇඳුම් විලාසිතාවලදි මම සීමා තියාගෙන ඉන්නෙ. ගොඩක් වෙලාවට තැනට ගැළපෙන විදිහට තමයි මම විලාසිතා තීරණය කරන්නෙ.



ලස්සනට ඇඟ පවත්වගෙන යන්නෙ කොහොමද ?


මම ඇඟ ගැන ගොඩක් හිතනවා. මොනවිදිහෙ වෘත්තීයක් කළත් ගෑනු ළමයෙක් වුණහම ලස්සන පිරිසුදුකම සෞඛ්‍ය ගැන හිතලා ඇඟ නඩත්තු කරන්න ඕන කියන එකයි මගේ අදහස. ඉතින් මම ඇඟ වෙනුවෙන් ව්‍යායාම කරනවා තෙල් සහ පිටි අඩු කෑම විතරක් ගන්නවා. මානසික සෞඛ්‍ය හොඳ විදිහට පවත්වගෙන යනවා වගේ දේවල් කරනවා.


දේශානි සරාගීකම විලාසිතාවක් කරගෙනද ඉන්නෙ ?


සරාගීකම කියන්නෙ ලස්සන කලාවක්. ඕනෑම ගෑනු ළමයෙක් කැමැතියි තමන්ව අනිත් අය අතරෙ ආකර්ෂණීය විදිහට පේනවට. ඉතින් මමත් කැමතියි ඒ විදිහට අනිත් අය අතරෙ සරාගී පෙනුමකින් ඉන්න. හැබැයි සරාගීකම විලාසිතාවක් කරගෙන සීමාව අබිබවා නිරුවතට යන්න මට අවශ්‍ය නැහැ.


නිරුවත ගැන මොකද හිතන්නෙ ?


නිරුවත ගැන කතා කරනකොට මට මතක් වුනේ සිංහබාහු චිත්‍රපටයේ "හැඩ ඇති නම් ගත හොඳම ඇඳුම නිරුවත" කියන දෙබස් ඛණ්ඩය. මගේ අදහසත් ඒකම තමයි. නිරුවත කියන්නෙ ලස්සන කලාවකට.



කෙළිලොල් සරාගී රංගනයකින් ආරාධනාවක් ලැබුණොත් ?


මම වැඩිපුර කැමැති මම නොවන අභියෝගාත්මක චරිත කරන්න. අතිශය සරාගී දර්ශන තියන චරිතවලට නම් මම එච්චර උනන්දු නැහැ.


ගුවන් සේවිකාවක් වෙලා ලෝකෙ පුරාම යන නිසා කොල්ලො ඕන තරම් හම්බෙනවා ඇති. ඒ අතරින් තාම හිත ගිය කෙනෙක් එහෙම නැද්ද ?


ගුවන් සේවිකා රැකියාව නිසා ගොඩක් විදේශික තරුණයෝ මට හම්බවෙනවා. මේ තාක් හම්බවුණ විදේශික පිරිමි ළමයි අතරින් ජීවිතයට ළං කරගන්න තරම් සුවිශේෂී කෙනෙක් නම් නැහැ. ඉදිරියෙදි බලමු ඉතින් ඒ ගැන.



මොනවගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නෙ ?


මගේ රැකියාව සහ රංගන ජීවිතය තේරුම් ගත්ත හොඳ පෞරුෂයත්වයක් සහ විශ්වාසනීයත්වයක් තියන කෙනෙක්ව තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.


රංගනයදි වගේ සැබෑ ජීවිතයේදි ආදරය කරනකොටත් කෙළිලොල් දඟකාර විදිහටද ආදරය කරන්නෙ ?


වැඩිය බරපතළ විදිහට හිතන්නෙ නැති දඟකාර ආදරවන්තියගේ චරිත රඟපෑවට සැබෑ ජීවිතයේදි මම හරි සංවේදි ආදරවන්තියක්. මටත් වැඩිය මගේ ආදරවන්තයා ගැන හිතලා සමහර වෙලාවට මාවම අමතක වුණ අවස්ථා තියනවා. අම්මා තාත්තා සහෝදරියෝ අතර මම හුඟක් දඟලලා කෑගහලා ඉන්න කෙනෙක්. හැබැයි ආදරය කරන⁣කොට පෙම්වතා ඉදිරියෙදි ගොඩක් සංවේදී නිහඬ කෙනෙක්. ඒ නිසා වෙලාවකට හිතෙනවා ආදරය මගේ දුර්වලකමක් කියලා.

 

More News..