roadBlockMobile
brand logo
logo
ඇමැති හරීන්ගේ ලේකම් සැකකරුවකු පැහැරගනී

ඇමැති හරීන්ගේ ලේකම් සැකකරුවකු පැහැරගනී

23 February 2024 | එෆ්. අස්ලම්

බීමත්ව රිය පැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුට පහරදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු පැහැරගෙන ගිය ප්‍රබල ඇමැතිවරයෙකුගේ පුද්ගලික ලේකම් ඇතුළු දෙදෙනෙකු බදුල්ල මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (22 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල දිස්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් හෙබවූ මේ වනවිට ප්‍රබල ඇමැති ධුරයක් දරන ඇමැතිවරයෙකුගේ ලේකම්වරයෙකු ඇතුළු දෙදෙනෙකි.


බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (22 වැනිදා) අලුයම 12.30ට පමණ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු බීමත්ව සිට ඇතැයි නිරක්ෂණය වී තිබේ.


මේ අනුව මෝටර් රථය පොලිසියේ සැරයන්වරයෙකුගේ පාලනයට ගනිමින් බීමත් රියැදුරුද එම රථයෙන්ම බදුල්ල මූලස්ථාන පොලිසිය කරා රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක් මෝටර් රථය හරස් කර නවත්වා ඇත.


‘‘උඹලා කොහොමද මූව ඇරස්ට් කරන්නේ යකෝ? මම ඇමැති හරින් ප්‍රනාන්දුගේ සෙකට්‍රි. අතෑරපං ඌව’’ යැයි කියමින් ඇමැති ලේකම් යැයි හඳුන්වාගත් පුද්ගලයා මෝටර් රථයේ රියැදුරු අසුනේ සිටි පොලිස් සැරයන් විජේරත්න නමැති නිලධාරියා පිටතට ඇද දමා මෝටර් රථයද සමගින් බීමත් රියැදුරු පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන පැහැරගෙන ගොස් තිබේ.


මෙම සිද්ධියට මුහුණ පෑ පොලිස් සැරයන්වරයා ඇතුළු නිලධාරීන් දෙපළ මේ සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කර ඇති අතර බීමත්ව රිය පැදවීමේදී හසුවූ දිලිත් ප්‍රසංග නමැති පුද්ගලයාගේ තොරතුරුද උසස් පොලිස් නිලධාරියාට ලබාදී ඇත.


මේ අනුව දිලිත් ප්‍රසංග නමැති බීමත්ව රිය පැදවූ පුද්ගලයා බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව පොලිස් නිලධාරියෙකු පිටතට ඇද දමා තුවාල කරමින් සැකකරුවෙකු පැහැරගෙන ගියේ ප්‍රබල ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙකු බවට හෙළිවී ඇත.


මේ අනුව ඇමැති ලේකම්වරයාට එරෙහිව අයුතු අවහිරය, පහරදීම, රාජකාරියට බාධා කිරීම, පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැහැරගෙන යාම හා පලායෑමට සැලැස්වීම ඇතුළු චෝදනා යටතේත්, බීමත්ව රිය පැදවීම, අත්අඩංගුවෙන් පලායෑම ඇතුළු චෝදනා යටතේත් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ නඩු පැවරීමට නියමිතව තිබිණි.

 

More News..