roadBlockMobile
brand logo
logo
මාලබේ - කොටුව සැහැල්ලු දුම්රිය යළි කරළියට

මාලබේ - කොටුව සැහැල්ලු දුම්රිය යළි කරළියට

16 March 2023

කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ.


ඒ සඳහා විකල්ප යෝජනා ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත.


කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබිණි.


රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ - මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සේවය කරන නිසා ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බව ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


ඉඩම් පවරා ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිතව තිබිණි.


මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා ((JICA) ආයතනය විසිනි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර ඇත. පසුගිය කාලයේදි රට මුහුණ දුන් ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කෙරිණි.


එලෙස ඉදිකිරීම් අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජපාන රජය එකඟ වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පසුගිය ජපාන නිල සංචාරයේ දී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසිනි.


කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම්පොළ 16 කින් සමන්විත වන සේ ඉදිකිරීමට නියමිතව තිබූ මෙම දුම්රිය සේවාව හරහා මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.


කාර්යබහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද, සාමාන්‍ය වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම්පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

 

More News..