roadBlockMobile
brand logo
logo
 ජොන්ස්ටන් වසර දෙකක් පාවිච්චි කරපු බී.එම්.ඩබ්ලිව් රිය

ජොන්ස්ටන් වසර දෙකක් පාවිච්චි කරපු බී.එම්.ඩබ්ලිව් රිය

18 October 2024 | ඉෂාර රත්නකාර

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථය හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු වසර දෙකක් පමණ භාවිත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.


අදාළ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථය සම්බන්ධයෙන් සිදු කරන ලද පුළුල් විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් එම කරුණු අනාවරණය කරගෙන තිබෙන අතර, ඒ පිළිබඳ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ද වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.


කොළඹ හිල්ටන් හෝටලයේ වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා තිබූ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථය සම්බන්ධයෙන් තෙල්දෙණිය, කෙංගල්ල වීදිය පදිංචි ගාමිණී අබේරත්න හෙවත් ටැක්සි අබේ නමැත්තාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ කර ප්‍රකාශයක් සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි වෙත කරුණු වාර්තා කරමින් දන්වා සිටියේය.


තමා වාහන, ඉඩම් විකිණීමේ ව්‍යාපාරිකයකු බවත්, දැනට වසර 08 ක පමණ කාලයක සිට තමා හිල්ටන් හෝටලයේ 09 වන මහලේ කාමරයක නවාතැන් ගෙන සිටින බවත් ටැක්සි අබේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබේ.


2024 ජනාධිපතිවරණයට පෙර දිනයේ, එනම් සැප්තැම්බර් 20 වන දින තමාගේ හිතවතෙකු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු දුරකථන ඇමතුමක් දෙමින් ඔහුට අයත් කාර් රථයක් ටික දවසකට නතර කර තැබීමට ස්ථානයක් සොයා දෙන ලෙස ඉල්ලා සිටි බවද ටැක්සි අබේ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ පවසා තිබේ.


තමා නවාතැන් ගෙන සිටින කොළඹ හිල්ටන් හෝටලයේ වාහන අංගනයේ එම කාර් රථය නවතා තබන ලෙස හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට දැනුම් දුන් බවත්, තමා නුවර සිටියදී හිටපු ඇමැතිවරයාගේ රියදුරකු විසින් කාර් රථය රැගෙන විත් හෝටලයේ තමාගේ වාහනය නතර කරන අංක 09 දරන ස්ථානයේ නතර කර තිබූ බවත් ටැක්සි අබේ නමැත්තා ප්‍රකාශ කර ඇතැයි අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කළු පැහැති කාර් රථය වසර දෙකක පමණ කාලයක සිට හිටපු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු භාවිත කරන බවත් ටැක්සි අබේ නමැති අය පවසා ඇතැයි දන්වා සිටියේය.


මෙම සිද්ධියට අදාළ සැකකරු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

 

More News..