roadBlockMobile
brand logo
logo
විශිෂ්ඨතම ගුවන් භටයාට සහ ගුවන් කාන්තාවට සම්මාන

විශිෂ්ඨතම ගුවන් භටයාට සහ ගුවන් කාන්තාවට සම්මාන

17 March 2023

විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. 


කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විවි උත්සව ශාලාවේදී පසුගියදා (15) එය පැවැත්වුණි.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලි නිපැයුම් හා නව සොයාගැනිම් ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයීම එහිදී සිදු විය.


2022 වර්ෂය තුළ ගුවන් හමුදාවේ එක් එක් වෘත්තීන්ට අදාළ විශිෂ්ඨතම ගුවන් භටයා තේරීම පිළිගත් ක්‍රමවේදයකට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණයන් යටතේ සිදුකිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සම්මාන ලබයි. 


එසේම නව සොයාගැනීම් හා නව නිපැයුම් සිදුකරනු ලබන කණ්ඩායම් සඳහා ද මෙහිදි සම්මාන පිරිනැමේ.


ඒ අනුව 2022 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ අංක. 01 විවේක හා විනෝදස්වාද පක්ෂාංගයට අනුයුක්තව සේවය කරනු ලබන බළලත් නිලධාරි ආර්.ජී.එස් ප්‍රියංකර පිදුම් ලැබූ අතර විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස කටුනායක ගුවන් හමුදා මුලික කඳවුරේ නිලධාරී නිවස්නයේ භෝජනාගාර සහයිකාවක ලෙස සේවය කරනු ලබන කෝප්‍රල් ලක්ෂිකා ඒ.පී පිදුම් ලැබීය.


කණ්ඩායම් අංශයෙන් විශිෂ්ඨතම තත්ත්ව පාලන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුරු කණ්ඩායම ද, විශිෂ්ඨතම පරිසර කළමණාකරණ ව්‍යාපෘති කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කණ්ඩායම ද, විශිෂ්ඨතම පර්යේෂණ කණ්ඩාම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කඳවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ කණ්ඩායම මෙහිදි සම්මාන දිනාගන්නා ලද අතර විශිෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව සඳහා මුදල් ත්‍යාගද මෙහිදි පිරිනමන ලදී. 

 

 

More News..