roadBlockMobile
brand logo
logo
සඳට යන්න අලුත් ඇඳුමක්

සඳට යන්න අලුත් ඇඳුමක්

17 March 2023 | සහන් වික්‍රමගේ

ඉදිරියේදී සඳ මත ගොඩ බැසීමට නියමිත අජටාකාශගාමීන් ඇඳීමට නියමිත ඇඳුම් කට්ටලය ඇමරිකාවේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කර තිබේ.


මෙම ඇඳුම මෙයට දශක ගණනකට පෙර සඳ මත පා තැබූ නීල් ආම්ස්‌ට්‍රෝන් ඇතුළු ඇපලෝ අජටාකාශගාමීන් අඳින ලද ඇඳුමට වඩා බෙහෙවින් වෙනස්, බොහෝ දුරට නවීකරණය කරන ලද ඇඳුමකි.


සඳ මත විවිධ කාර්යයන් කිරීමේදී මෙම අලුත් ඇඳුමෙන් විශාල පහසුවක් අත්වනු ඇති බව විද්‍යාඥයෝ පවසති.


ඉතා පැහැදිලි දසුන් ලබා දෙන විඩියෝ කැමරා ආදිය ද එහි සවි කර තිබේ. මෙවැනි අභ්‍යවකාශ ඇඳුම්වලින් ඉටු කෙරෙන තවත් ප්‍රධාන කාර්යයක් වන්නේ අභ්‍යවකාශයේදී අජටාකාශගාමීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ලබා දීමයි.


එහි යම් දෝෂයක් ඇති වුවහොත් එය අජටාකාශගාමීන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල කරන්නක් වනු ඇත.


අභ්‍යවකාශ ඇඳුම් නිර්මාණය කිරීමේදී එවැනි කාරණා ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදු වේ. මෙම අලුත් ඇඳුම නිර්මාණය කර ඇත්තේ කාන්තා අජටාකාශගාමීන්ටද ගැළපෙන ආකාරයෙනි.


මීළඟට අජටාකාශගාමීන් සඳ මත පා තැබීමට නියමිතව ඇත්තේ 2025 වසරේය. එම ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ ආටෙමිස්-3 යන නමිනි. පළමු වරට කාන්තාවක සඳ මත පා තැබීමද මෙම ගමනේදී සිදුවීමට නියමිතය.


 

More News..