ත්‍රී රෝද රථයේ රෝදය ගැලවී යතුරුපැදියේ කතක් මරුට
24 May 2023 | බිමල් ශ්‍යාමන් ජයසිංහ - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ත්‍රී රෝද රථයේ රෝදය ගැලවී යතුරුපැදියේ කතක් මරුට
24 May 2023 | බිමල් ශ්‍යාමන් ජයසිංහ - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් ත්‍රී රෝද රථය රියදුරුට පලනය කර ගැනීමට නොහැකිව කුඩා දරු දෙදෙනකු නංවාගෙන කාන්තාවක් පදවා ගෙන යමින් සිටි යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිය අනතුරට ලක් වී ඇත.
අනතුරෙන් එම කාන්තාව මියගොස් දරු දෙදෙනා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ බටුවිට කුරුඳුවත්ත පදිංචිව සිටි 36 හැවිරිදි විවාහක කාන්තාවකි.
අනතුරින් මියගිය කාන්තාව සිය 13 හැවිරිදි පුතු සහ පුතුගේ මිතුරකු යතුරුපැදියෙන් අමතර පන්ති කරා රැගෙන යාම සඳහා ගෝනපොල බටුවිට ප්‍රදේශයේ සිට කුලුපන දෙසට යතුරු පැදියෙන් යාමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රී රෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී යාමත් සමඟම රියදුරුට එය පාලනය කරගත නොහැකිව කාන්තාව දරු දෙදෙනා සමඟ පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.
අනතුර සිදු වූ ස්ථානයේ දී ම කාන්තාව මියගොස් තිබූ අතර යතුරු පැදිය පිටුපස ගමන්ගත් කුඩා දරු දෙදෙනා බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී ඒ මොහොතේම කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
ත්‍රීරෝද රථ රියදුරු සහ එහි පිටුපස ගමන්ගත් පුද්ගලයා සුළු තුවාල ලබා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
මියගිය කාන්තාවගේ හිසට සහ දරු දෙදෙනාගේ මුහුණ සහිත ප්‍රදේශයට ද අනතුරින් බරපතළ තුවාල සිදුවී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැවසීය.
හොරණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.