roadBlockMobile
brand logo
logo
ඡන්දය කල් යන බවට කොමිසමෙන් ඉඟියක්

ඡන්දය කල් යන බවට කොමිසමෙන් ඉඟියක්

15 March 2023 | සාලිය කුමාර ගුණසේකර

මුදල් නොමැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව රැස්වී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව එම කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසුවේය.


ඡන්ද පත්‍රිකා සහ මැතිවරණයට අවශ්‍ය මුදල් නොලැබීම නිසා තැපැල් ඡන්දය පමණක් නොව අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීමද තවදුරටත් කල් දැමීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.


පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය මෙම මස 28,29,30 සහ 31 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ. තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපෑලට භාරදීමට නියමිතව ඇත්තේ මෙම මස 21 වැනිදාය.


මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් පෙරේදා (13 වැනිදා) පස්වරුව වනවිටදී ද මුදල් ලැබී නොතිබුණු බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.


මෙම තත්ත්වය මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ හැකියාවක් නොමැති බවද ඇය කීවාය.


දැනට දිස්ත්‍රික්ක 17 ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇතත්,එලෙස මුද්‍රණය කර තිබෙන ඡන්ද පත්‍රිකා කොපමණදැයි ගණන් ගැනීමට සිදුවන බවත්,ඉතිරි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ඇරඹීමට යම් මුදල් ප්‍රමාණයක් රජයේ මුද්‍රණාලයට අවශ්‍ය බවද ඇය පැවසුවාය.

 

More News..