brand logo
logo
ට්විටර් ගිණුම් හරහා දරුවන්ගේ නිරුවත් වීඩියෝ ජාවාරමක්

ට්විටර් ගිණුම් හරහා දරුවන්ගේ නිරුවත් වීඩියෝ ජාවාරමක්

05 August 2024 | ඉෂාර රත්නකාර



මෙරට දරුවන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ට්විටර් (Twitter) ගිණුම් හරහා යොමු කිරීමේ නවතම ජාවාරමක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට අද (05 වැනිදා) දැනුම් දුන්නේය.


ඇමරිකානු රජය විසින් පවත්වාගෙන යන NCMEC සමාගම විසින් කරන ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශනය පවත්වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.


දරුවන්ට වන අපරාධ සොයා බැලීම සඳහා ඇමරිකානු රජය විසින් පවත්වාගෙන යන අදාළ සමාගම විසින් යොමු කර තිබූ දත්ත පරීක්ෂා කිරීමේදී බාලවයස්කාර දරුවන්ට බරපතළ ලිංගික අතවරයන් කිරීමේ සිද්ධීන් ගණනාවක් අනාවරණය වී ඇතැයිද පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.


එලෙස බාලවයස්කාර දරුවන්ට බරපතළ ලිංගික අතවරයන් කර, ඊට අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ට්විටර් ගිණුම් හරහා යොමු කර ඇතැයි ද පොලිසිය දන්වා සිටියේය.


මෙම සිද්ධියට අදාළ විමර්ශනයේදී බරපතළ ලිංගික අතවරයන්ට ලක් වූ බාලවයස්කාර පිරිමි දරුවන් 04 දෙනකු පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතැයිද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණය වෙත දන්වා සිටියේය.


ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා අදාළ සිද්ධින් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.


 

More News..