roadBlockMobile
brand logo
logo
ලිස්ටීරියා ගැන අනියත බියක් එපා

ලිස්ටීරියා ගැන අනියත බියක් එපා

17 March 2023 | වරුණි පෙරමුණ/සුනිල් ජයතිලක-කුරුවිට/ඉන්දික වික්‍රමාරච්චි - රක්වාන

එරන්තන - ශ්‍රී පාද මාර්ගයේ බේරුමණ්ඩිය ප්‍රදේශයේ ආපන ශාලාවක සේවය කරමින් සිටි පනස්තුන් හැවිරිදි කාන්තාවක් ලිස්ටීරියා බැක්ටීරියාව ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි පවතින සැකයක් මත සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.


මෙලෙස මියගිය කාන්තාවගේ රුධිර හා සුෂුම්නා තරල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනයට යොමුකර ඇත. මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේදී පවත්වා ඇත.


මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරිපා මාර්ගය හා එරත්න ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් කුමාරසිංහ මෙසේ පැවසීය.


සිරිපා මාර්ගයේ පිහිටි ආහාර වෙළෙඳසලක සේවය කළ එරත්න ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව හදිසියේ රෝගාතුරව මියගොස් ඇත්තේ ලිස්ටීරියා නම් බැක්ටීරියාව ශරීරගත වීමෙන් ඇති වූ රෝගී තත්ත්වය මත රත්නපුර රෝහලේ දී සිදුකළ මරණ පරීක්ෂණයෙන් හා ශරීර කොටස් පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා .


සිරිපා වන්දනාවේ ගිය තවත් දෙදෙනකු මරණයට පත්ව ඇති බව වාර්ථා වී ඇතත් ඒ අය මියගොස් ඇත්තේ මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් බව මෙතෙක් තහවුරු වී නෑ. මෙම බැක්ටීරියාව සත්ව ආහාර හා ජලය මගින් ශරීරගත විය හැකියි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් මෙම ආහාර අලෙවි කරන සියලු ආපන ශාලාවල ජල හා ආහාර සාම්පල් ලබාගෙන ඒවා කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යැවීමට පියවර ගෙන තියෙනවා. ඒ අනුව මෙම බැක්ටීරියාව තවත් පැතිරී ඇත්දැයි තහවුරු කරගත හැකිවනවා. නමුත් සිරිපා වන්දනාවේ පැමිණෙන ජනතාව මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතුයි. හැමවිටම සත්ත්ව ආහාර ඇතුළු සියලු ආහාර හොඳින් පිස හා ජලය හොඳින් උණුකර නිවා පානය කිරීම මගින් මෙම බැක්ටීරියාව ඇතුළු සියලු විෂබීජවලින් ආරක්ෂා විය හැකියි.

 

More News..