සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සූර්යා හා සම්බන්ධව නැකත් චාරිත්‍රයත් සමග පැමිණෙන සංස්කෘතික උත්සවයකි. නව අවුරුද්ද උදා වෙන විට එනම් සූර්යා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා ගමන් කරන කාලය පුණ්‍ය කාලය ලෙස හඳුන්වයි. මෙය උපවාස කාලය ලෙසද හඳුන්වනු ලබයි. පුණ්‍ය කාලය එළැඹීමට පෙර කා බී සියලු වැඩ අත්හැර පුණ්‍ය කටයුතුවල පමණක් යෙදෙන ලෙස නැකත් ශාස්ත්‍රයේ සඳහන් වන්නේය. මෙය නොනගත කාලය ලෙසද හඳුන්වයි. මෙම කාලය අපේ අග්නිය (බඩගින්න) වර්ධනය වේ.
සිංහල අලුත් අවුරුද්දේ නිවසක කැවිලි මේසය සකස් කරනුයේද ආහාර රුචිය වැඩිකරන අන්දමිනි. ආයුර්වේදයේ සඳහන් වන පරිදි ආහාරයක් පිළියෙල වීමේදී එය උණුසුම්, නැවුම්, වර්ණවත් බවින් යුක්ත විය යුතුය. අවුරුදු කැවිලි මේසයක මෙම ලක්ෂණ සියල්ලම සතුවන්නේය. අවුරුදු මේසය, නැකතට අනුව දින හා වර්ණ වෙනස් වේ.
කිරිබත -
අවුරුදු කැවිලි මේසයේ අනිවාර්ය ආහාරයක් වන්නේ කිරිබතය. බක් මාසයේ අස්වැන්න නෙළා අලුතින් ලැබෙන සහලින් අවුරුදු කැවිලි මේසයේ කිරිබත සකසා ගැනේ. දේශීය සහලකින් සකසා ගන්නා කිරිබත ආයුර්වේදයේ සඳහන් පරිදි ගුරු (බර) ගුණයෙන් යුක්තය. ගුරු ගුණයෙන් යුතු ආහාරයක් යම් පුද්ගලයකු අනුභව කරන්නේ නම් එම පුද්ගලයාගේ සත්ත්ව ගුණ (ආදරය, කරුණාව, දයාව, බැඳීම) වැඩිවෙන බව ආයුර්වේදයේ සඳහන් වන්නේය. අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඇතිකිරීමේ ගුණය කිරිබත සතුවන බව ආයුර්වේදයේ සඳහන් වේ.
කිරිබත, හකුරු, මුං, කොල්ලු, තල, උඳු ආදිය මිශ්‍ර කර පිළියෙල කර ගැනීමක් සඳහන් වේ.
තෝනිගල කියන සෙල්ලිපියේ සඳහන් වී තිබෙන්නේ කිරිබතට දේශීය ධාන්‍ය වර්ග එකතු කිරීම වඩාත් ගුණදායක බවය.
අග්නිය ඇවිලී පවතින කාලයේ නැවුම්ව සකසා ගන්නා කිරිබතට ආහාර රුචිය වැඩිකරයි. අග්නිය හොඳින් ඇවිලුණ අවස්ථාවන්වලදී ආහාර පිසගැනීමෙන් ආමාශයේ ආම ගතිය වැඩි වී අපහසුවක් දැනුණද කිරිබත ආහාරයට ගැනීමේදී අග්නිය තුලනය වී ආම ගතිය සමනය වේ.
අවුරුදු කැවිලි මේසයේ රස හයකින් නැතහොත් ශඩ් රසයෙන් යුතු කැවිලි පිළියෙලව පවතී. මදුර, අම්ල, ලවණ, කටුක, තිත්ත, කෂාය, මධුර නැතහොත් පැණිරස සෑම කැවිලි වර්ගයකම පවතී.
අම්ල නැතහොත් ඇඹුල් රස කැවිලි මේසය සරසන කෙසෙල්වල පවතී.
ලුණු- කිරිබතට, කැවිලි සෑදීමේදී ලුණු මිශ්‍ර කරනු ලැබේ.
කටු- කට හාරවන ගතියෙන් යුතු රසය. ලුණුමිරිස කටු රසයෙන් යුක්තය.
තිත්ත - අග්ගලා සෑදීමේදී ගම්මිරිස් එකතු කරයි. ගම්මිරිස් තුළ තිත්ත රසයක් පවතී.
කෂාය- සුදු ලූනු සහ ගම්මිරිස් තුළ කෂාය රසය පවතී. මේවා අග්ගලා සෑදීමේදී හෝ කොකිස් සෑදීමේදී පිටි සමග මිශ්‍රකර ගනී.
මේ අනුව සම බල ආහාරයන්ගෙන් කැවිලි මේසය පොහොසත්ය.
සහල් පිටිවලින් සකස් කර ගන්නා රස කැවිලි නිවසේ සිඳින ලද පිරිසුදු පොල්තෙල්වලින් බැද ගනු ලැබේ. ඒ වගේම කැවිලි මේසයේ කැවුම් ගෙඩියක් සමග අප බොහෝ විට ඇඹුල් කෙසෙල් ගෙඩියක් කෑමට පුරුදුව සිටියි. එසේම අග්ගලා සකසා ඇත්තේ ගම්මිරිස් , සුදුලූනු වැනි දෑ යොදාගෙන බැවින් රසකැවිලිවල පවතින තෙල් ගතිය ශරීරය තුළදී තුලනයට ලක් වේ. මෙයට නිරෝගී පුද්ගලයකු රෝගී බවට පත්කිරීමේ හැකියාවක් නොමැත.
නිවැරදි පිළිවෙළට සකසා ගන්නා අවුරුදු කැවිලි ආහාරයට ගන්නා පුද්ගලයන් බෝනොවන රෝගයන්ට ගොදුරු නොවේ.
පුණ්‍ය කාලයේ පැය 6-7 පමණ කාලයක් ගත කිරීමෙන් අග්නිය හොඳින් ඇති වේ. මෙහිදී ශරීරයේ පැවති මේදය දහනය වීමක් වේ. නැවත කැවිලි මේසයේ තිබෙන තෙල් සීනි හා සහල් පිටිවලින් සැකසූ ආහාරයක් ගත් සැණින් ශරීරයේ මේදය හෝ සීනි වැඩිවීමක් සිදු නොවේ. තවද
පුණ්‍ය කාලය තුළ ආගමික වත්පිළිවෙත්වල යෙදීමෙන් අපේ ශරීරයේ හෝමෝන සහ එන්සයිමවල ක්‍රියාකාරිත්වය මනාව සිදු වේ. මෙයද අපේ ශරීරය නිරෝගී වීමට හේතුවකි.
පැණිරස හා තෙල් සහිත ආහාර ගත්තද ඒවා ඉක්මනින් ජීර්ණය වී ශරීරයේ තැන්පත් වන මේදය දහනය කර ගැනීම සඳහා කෙළි සෙල්ලම්වල නිරත වීම බොහෝ දෙනාගේ සිරිතය. ඔන්චිලි පැදීම, චග්ගුඩු පැනීම, පොරපොල් ගැසීම වැනි අපේ ජන ක්‍රීඩාවන් අවුරුදු කාලයේ නිර්මාණය වී ඇත්තේද ශරීරයට ඇතුළු වන අධික මේදය දහනය කිරීමේ අරමුණින්මය.
සටහන - ශ්‍රියානි විජේසිංහ