brand logo
logo

කහ තිත් පළඟැටියා කරාබු, සාදික්කා, එනසාල්වලටත් බැල්ම හෙළයි

11 June 2020

කහතිත් පළඟැටියාගේ හානිය අපනයන කෘෂිබෝග හෙවත් කුළුබඩු බෝගවලටත් පැතිරීමේ අවදානමක් පවතින බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී හීන්කෙන්ද සඳහන් කරයි. මේ වනවිට මාවතගම, මාතලේ, හම්බන්තොට වැනි ප්‍රදේශවල පුවක් වගාව තුළ මෙම පළඟැටි උවදුර දක්නට ලැබෙන බවත් එසේම ඇතැම් ප්‍රදේශවල කෝපි වගාවටද හානි සිදු කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මෙම කෘමියාගේ පියාපත් වර්ධනය වී නොමැති බැවින් දුර පියෑඹීමේ හැකියාවක් නොමැති වූවද, මෙම කහ තිත් පළඟැටියා වර්ධනය වීමට පෙර පහසුවෙන් මර්දනය කිරීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය. වගා ඉඩමේ වල් මර්දනය කර ඉඩම පිරිසිදුව තබා ගැනීම, ගිනි ගොඩවල් ගසා පුලුස්සා දැමීම, පස පෙරළීම වැනි පාලන ක්‍රම මේ සඳහා භාවිත කළ හැකි බවද ඔහු සඳහන් කළේය. මෙහිදී තමාගේ වගාබිම් දිනපතා හොඳින් පරීක්ෂා කර බැලීම වැදගත් බවත්, පළඟැටියන් බිත්තර දැමීම පසේ සිදු කරන අතර කහ තිත් පළඟැටියන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ නම් කෘමිනාශක යෙදීමෙන් පාලනය කළ හැකි බවද ඔහු කීවේය. කරාබු, සාදික්කා, ගම්මිරිස් වැනි අපනයන කෘෂිබෝග වගාවන්හි කහතිත් පළඟැටි උවදුර දක්නට ලැබේ නම් වහාම අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීවරයාට දැනුම් දෙන ලෙසටත් නැතිනම් දුරකථන අංක 1920 කෘෂි උපදේශන සේවාව අමතා උපදෙස් ලබා ගන්නා ලෙසටත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. උවදුර දැක්කොත් 1920 අමතන්න.     සාලිය කුමාර ගුණසේකර
 

More News..