කොවිඩ් පාලනය කර ළමුන් පාසල් ගෙන්වූ පළමු රට ලංකාව
21 August 2020
කොවිඩ් පාලනය කර ළමුන් පාසල් ගෙන්වූ පළමු රට ලංකාව
21 August 2020
කොවිඩ් ඵලදායී ලෙස පාලනය කරගනිමින් ආරක්ෂිතව ළමයින් පාසල් වෙත ගෙන්වාගත් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ් සංවිධානය) මෙරටට සුබපැතුම් පළකර ඇත.
යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විම් සුටන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ දරුවන්ට අධ්‍යාපනය සඳහා ඇති ‘හොඳම ස්ථානය පාසල බවයි. එබැවින් පාසල් විවෘත කිරීම අතිශය වැදගත් කරුණක් බව එම සංවිධානය කියයි.
පාසල් වසා දැමුනද අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පැවැතුණු නමුත් දරුවන්ට ඉගෙනීමට ඇති හොඳම ස්ථානය පාසලයි.
එසේම දරුවන්ගේ ගුරුවරුන් සහ මිතුරන් සමග ධනාත්මක කටයුතු කළ හැකි පහසුම ස්ථානය පාසල වන නමුත් කොවිඩ් 19 අවදානම තවමත් පවතී යැයි පවසන යුනිසෙෆ් සංවිධානය දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් සහ ප්‍රජාවන් තවදුරටත් කොවිඩ් අවදානමින් ඈත් කර තැබීම වැදගත් බවද කියයි.
එසේම අවදානම සීමාකිරීම සඳහා අත්‍යවශ්‍ය ‘පාඩම්’ කිහිපයක් අනුගමනය කරන ලෙස එම සංවිධානය පාසල් දරුවන් ප්රමුඛ සියලු පාර්ශ්වවලින් ඉල්ලා ඇත.
ඒ අනුව සෑම විටම අවම වශයෙන් මීටරයක දුර පවත්වා ගැනීම, ඕනෑම ක්‍රියාකාරකමකට පෙර සහ පසු අවම වශයෙන් තත්ත්පර 20ක්වත් සබන් සහ ජලයෙන් අත්සේදීම, පන්ති කාමරයෙන් පිටතදී නාසය සහ මුඛය ආවරණය කිරීම, කැස්සකදී හෝ කිවිසුම් යෑමකදී නැමූ වැලමිට හෝ ටිෂූ කඩදාසියක් භාවිත කොට ආවරණයක් ලබාගැනීම සහ එම ටිෂූ ආරක්ෂිතව බැහැර කිරීම, සියලුම පෘෂ්ඨයන් නිරතුරුව පිරිසිදුව පවත්වාගෙන යෑම, දරුවකුට උණ, උගුරේ අපහසුතා, කැස්ස හෝ හුස්ම හිරවීමක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සහ එකිනෙකාට කාරුණික වී ආරක්ෂිතව පසුවීම යන පියවර අනිවාර්යයෙන්ම අනුගමනය කරන ලෙස පාසල් අධ්‍යාපනය සම්බන්ධ සියලු පාර්ශ්වවලින් යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටී.
නයන තරංග ගමගේ