brand logo
logo

ගංගාවල වැලි මනින්නැයි ඇමැතිගෙන් උපදෙස්

08 February 2021

    ගංගා ආශ්‍රිතව තිබෙන වැලි ප්‍රමාණය කොපමණදැයි සොයා බැලීම සඳහා නැවත සමීක්ෂණයක් සිදු කරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදී ඇත. කැලණි ගඟ, මහවැලි ගඟ හා කළු ගඟ ආදි ගංගා ආශ්‍රිතව තිබෙන වැලි ප්‍රමාණය සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අවසන් වරට සමීක්ෂණයක් සිදුකර ඇත්තේ 2019 වසරේදීය. ගංගා ආශ්‍රිතව වැලි කැණීම ඉහළ ගොස් ඇති බැවින් මෙම සමීක්ෂණය යළි සිදුකරන ලෙස ඇමැතිවරයා උපදෙස්දී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වැලි කැණීම සඳහා වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ මහවැලි ගඟටය. මීට අමතරව කළු ගඟේ වැලි ගොඩ දැමීම පසුගිය කාලයේ අත්හිටුවා තිබූ අතර, කළු ගඟේ වැලි ගොඩ දැමීම සඳහා යළි බලපත් 246 ක් නිකුත් කළ බව එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොල පවසයි. මීට ඉහතදී කළු ගඟේ මෝය කටේ සිට අඟුරුවාතොට පාලම දක්වා වැලි ගොඩ දැමීමට වැලි කැණීම් බලපත් 800 ක් නිකුත් කර තිබුණි. නමුත්, ගඟේ ලවණ ප්‍රතිශතය ඉහළ යෑම හේතුවෙන් බලපත් නිකුත් කිරීම අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගන්නා ලදී. ඉදිරියේදී දැදුරු ඔයේ සහ මා ඔයේ වැලි ගොඩ දැමීම සඳහාද අවසර ලබාදීමට සැලසුම් කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කරයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..