මත්තලට ගුවන් යානා ගොඩබැස්සවීම නොමිලේ
14 September 2020
මත්තලට ගුවන් යානා ගොඩබැස්සවීම නොමිලේ
14 September 2020
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරක කාලයකට සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
ඊට අදාළ නියෝග ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ බව පවසන සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් යානා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවද කියා සිටී.
ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම්වල දී උපරිම පිටත් වීමේ බර මෙට්‍රික් ටොන් 1 ක් සඳහා අය කෙරෙන ගොඩබැස්සවීමේ ගාස්තුව ඩොලර් 4 කි. ගුවන් යානා නතර කිරීමේ ගාස්තුව වන්නේ ගොඩබැස්සවීමේ ගාස්තුවෙන් 10%කි. මීට අමතරව මත්තල ගුවන් තොටුපළේ ගුවන් තොටුපළ අපගමන බද්ද අය කිරීම වසර 02 ක් සඳහා සම්පූර්ණයෙන් ම අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ. ඊට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි විය.
ඇමෙරිකානු ඩොලර් 60 ක් වන ගුවන් තොටුපළ අපගමන බද්ද අය කෙරෙනුයේ ගුවන් මගීන්ගෙනි. ඒ ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර මිලෙන් සැලකිය යුතු ප්‍රමාණයකි. කලාපීය තරගකරුවන් හා සැසඳීමේදී ගමනාන්තයක් ලෙස සංචාරකයන්ගේ ආකර්ෂණයට මේ වෙද්දී අහිතකර ලෙස බලපාන බව ද අධ්‍යන මගින් හෙළි ව ඇතැයි ඇමැතිවරයා කියයි. සහනදායී ගුවන් සමාගම්ද මත්තල ගුවන් තොටුපළ අපගමන බද්ද කිසියම් කාලයකට අතහැර දැමීමට හෝ අඩු කිරීමට සලකා බලන ලෙස ඉල්ලීම් කර තිබූ බවද පවසයි.
මීට අමතරව මත්තල ගුවන් තොටුපළේ බිම් මෙහෙවර සේවා සඳහා වට්ටම් අනුපාතයක් ලබා දීමට ද තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල බිම් මෙහෙවර සේවා ගාස්තු සෙසු කලාපීය ගුවන් තොටුපළට වඩා ඉහළ අගයක් ගනී. එය මත්තලට ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණයට බාධාවක් බැවින් මෙම තීරණයට එළඹී බව ඇමැතිවරයා කියයි. ශ්‍රීලංකන් සමාගම මේ සම්බන්ධයෙන් මේ වන විට කටයුතු ද කරමින් සිටි.
මත්තලට පැමිණෙන ගුවන් යානා සඳහා සහන මිලට ඉන්ධන ලබාදීමට ද රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයි පැවැසේ. මෙම සහනය ලබාදීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද කියයි.