brand logo
logo

ළමා පිළිකා රෝගීන්ගේ වර්ධනයක්

18 February 2022

පිළිකා රෝගී ළමයින් 250ක් වාර්ෂිකව ජීවිතය හැර යනවා

ළමා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් එය වාර්ෂිකව සියයට 5ක පමණ ප්‍රතිශතයක් බවත් පිළිකා රෝග මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කරයි. පිළිකා රෝගී ළමයින් 800 – 900 ක් පමණ දෙනා වාර්ෂිකව හඳුනාගන්නා අතර ඉන් 250ක් පමණ දෙනා වාර්ෂිකව ජීවිතය හැර යන බව ද පෙන්වා දෙන වෛද්‍ය සුරාජ් වැඩිදුරටත් අනාවරණය කරනුයේ කල් ඇතිව පිළිකාව හඳුනා ගත හැකි නම් වාර්ෂිකව සිදුවන ළමා මරණ සංඛ්‍යාව තවදුරටත් අවම කර ගත හැකි බවය.

ළමයින් අතර වැඩියෙන්ම දක්නට ලැබෙන පිළිකාව වනුයේ ලියුකේමියාවය. එමෙන්ම වසාග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා, අස්ථි ආශ්‍රිත පිළිකා හා අක්ෂි පිළිකා හඳුන්වා දිය හැකි අතර මෙම සියලුම පිළිකාවන් කල් ඇතිව හඳුනාගෙන නිසි ප්‍රතිකාරයන් සඳහා යොමු කරන්නේ නම් නිට්ටාවට සුවකර ගත හැකි වනු ඇතැයි විශේෂඥවරයා පෙන්වාදේ. කෙසේ නමුත් ළමා පිළිකාවන්ට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගැනීමක් කර නොමැති බවත් මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ තත්ත්වය බවත් වෛද්‍ය සුරාජ් සඳහන් කරයි.

ළමා පිළිකා රෝගය සුවකර ගැනීමේ නියමු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇති බව ද පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.
 

More News..